Wednesday, November 20, 2013

ආණ්ඩුව විසින් ලෝකයාට ණය වී මගුලක් කෑ බවත්, මගුලට සහභාගී වූ අය කතා පවත්වද්දී ආණ්ඩුවේ රෙදි ගැලවූ බවත් අවසානයේ ආණ්ඩුව ණයට මගුල් කා රෙදි ගලවා ගත් බව ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සභික ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.

එසේම ලෝකයේ ඒ තරම් පිළිගැනීමක් නොමැති චැනල් ෆෝ නාලිකාවට මෙම ආණ්ඩුව විසින් වටිනාකමක් සකසා දුන් බව අද(20) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේය.

ආණ්ඩුව විසින් චැනල් ෆෝ නාලිකාවේ මාධ්‍යවේදීන් පිරිසට මෙරටට පැමිණීමට ඉඩදී නැති ප්‍රශ්න ඇති කරගත් බවද ඒ මහතා එහිදී කියා සිටියේය‍.

එම මාධ්‍ය හමුවේදී ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සභික විජිත හේරත් මහතා විසින් තවදුරටත් පහත පරිදි අදහස් දැක්විය.

මහා ඝෝෂාවක් සමඟ පැවති පොදු රාජ්‍ය මණ්ඩල සමුළු සංදර්ශනය ඉවරයි. ශේෂ පත‍්‍රයට ඉතිරි වුනේ මහින්ද රාජපක්ෂ පොදුරාජ්‍ය මණ්ඩලයේ තවත් අවුරුදු දෙකකට සභාපති පුටුවේ වාඩිවීම, කෝටි ගානක ධනස්කන්ධයක් වියදම් කිරීම, බි‍්‍රතාන්‍ය අගමැති ඩේවිඞ් කැමරන් විශේෂ ප‍්‍රකාශයක් කිරිම, ජේම්ස් පැකර් ව්‍යාපාරික ප‍්‍රජාව අමතලා විශේෂ ප‍්‍රකාශයක් කිරීම සහ පොදුරාජ්‍ය මණ්ඩලයට කොහෙත්ම අදාළ නැති චීන ව්‍යාපාරිකයින් කීපදෙනෙක් සමඟ ගිවිසුම් අත්සන් කිරීමක් පමණයි.

සභාපති ධූරය මහින්ද රාජපක්ෂට හිමි වුනාට පොදු රාජ්‍ය මණ්ඩලයේ නායකයා රැජිණයි. සමුළුවෙන් සිදුවුනේ යටත් විජිතභාවය නැවත තහවුරු කිරීම පමණයි.

සුපුරුදු විදිහට බි‍්‍රතාන්‍ය ඔටුන්න හිමි චාල්ස් කුමාරයා ශී‍්‍ර ලංකාව තමන්ගේ යටත් විජිතයක් බව තහවුරු කරලා ගියා. අපි සන්දර්ශන, නාඩගම් ගොඩක් දැක්කා. සමුළුවේදී එක රාජ්‍ය නායකයෙක්වත් කිව්වේ නැහැ බි‍්‍රතාන්‍ය තවමත් යටත් විජිත පවත්වා ගැනීම වැරදියි කියලා. පොදුරාජ්‍ය මණ්ඩලයේ නායකත්වයෙන් බි‍්‍රතාන්‍ය ඉවත්විය යුතුයි කියලා කවුරුත් කිව්වේ නැහැ.

ශී‍්‍ර ලංකාවේ ඌව වෙල්ලස්සේ මහාජන සංහාරයක් කරපු බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයට රට වෙනුවෙන් දිවිපිදූ ශී‍්‍ර ලාංකිකයින් පාවලා දුන්නා. සභාපති ධූරය හිමි මහිනිද රාජපක්ෂ කිවයුතුව තිබුණා යටත් විජිත නායකත්වය රැජින යටතේ තබා ගැනීම වැරදියි කියලා. සමුළුව අපෙන් හොරාගත් සම්පත් නැවත ලබා දෙන්න කියලා ප‍්‍රකාශයක් කිරිමට අවස්ථාවක් කර ගන්න තිබුණා. සියවස් ගණනාවක් රටවල් යටත් කරගෙන කොල්ලකාපු භෞතික සම්පත් නැවත එම රටවල්වලට ලබා දෙන්න කියලා බි‍්‍රතාන්‍යයට කියන්න තිබුණා. බි‍්‍රතාන්‍යයේ කෞතුකාගාරවල තවමත් ලංකාවෙන් පැහැරගත් දේවල් තිබෙනවා. කණගාටුවට කරුණ කිසිදු රාජ්‍ය නායකයෙක් එවැනි ප‍්‍රකාශයක් කළේ නැහැ. ලංකාව කේටරින් සර්විස් එක සපයන අරමුණ පමණක් ඉටුකරගත්තා.

පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවට සහභාගී වුණු සියලූම රටවල්වලට අරමුණක් තිබුණා. ඕස්ටේ‍්‍රලියාවේ අරමුණ වුනේ ජේම්ස් පැකර්ගේ කැසිනෝ ව්‍යාපාරය ලංකාවට ගෙන ඒමත්, අපේ රටේ රැකියා නැතිව ඕස්ටේ‍්‍රලියාවට හොර පාරෙන් යන ශී‍්‍ර ලාංකිකයින් ඕස්ටේ‍්‍රලියාට ඒම නැවැත්වීමත්. ඒ සඳහා ඕස්ටේ‍්‍රලියානු රජය සාකච්ඡ කළා. එවැනි පුද්ගලයින් අල්ලන්න බෝට්ටු දෙකකුත් ලබා දුන්නා. බි‍්‍රතාන්‍යයට තිබුණු අරමුණු වුනේ මානව හිමිකම් පිළිබඳ ප‍්‍රශ්නය පොදුරාජ්‍ය මණ්ඩලය තුළ සාකච්ඡාවට ගන්න එකයි. මහින්ද රාජපක්ෂගේ අරමුණ වුනේ පොදුරාජ්‍ය මණ්ඩලයේ සභාපතිකම ගැනීමයි.

මෙම සමුළුව සඳහා වැයවුණු මුදල ආණ්ඩුවටවත් තවම කියා ගන්න බැරිවෙලා තිබෙනවා. විවිධ අමාත්‍යාංශවලින් කොටි ගණන් මුදල් වැය කළා. පසුගිය වසරේ අය-වැයෙන් මේ සඳහා මුදල් වෙන් කළේ නැහැ. රටක සාමාන්‍ය පිළිගත් මුදල් සම්ප‍්‍රදාය වන්නේ මෙවැනි සමුළුවකට කලින් වර්ෂයේදී මුදල වෙන්කිරීමයි. නමුත් ආණ්ඩුවට මෙම වියදම් ගැන කිසිදු වගකීමක් තිබුණේ නැහැ.

වාහන වලට මල්වෙඩි සංදර්ශනවලට වෙබ් අඩවිවලට කෝටි ගණන් මුදල් වියදම් කළා. ඒ බර ජනතාව මත පැටවෙලා තිබෙනවා. පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව පැවැත්වෙන අතරතුරේම බී ඵෑණු කිලෝවක් දෙසිය හැට ගණන්වලට නැග්ගා. සමුළුවට ගිය වියදම සොයාගන්න ආණ්ඩුවට ක‍්‍රමවේදයක් නැහැ. තිබෙන එකම මාර්ගය ජනතාව මත බදු බර පැටවීම පමණයි.

සමුළුවට කලින් ආණ්ඩුව විවිධ දේවල් කිව්වා. කෙහෙළිය රඹුක්වැල්ල කිව්වා රාජ්‍ය නායකයින් 37ක් එනවා කියලා. නමුත් මහින්ද රාජපක්ෂත් එක්ක රාජ්‍ය නායකයින් 25ක් පමණයි හිටියේ. ඊට අමතරව පැමිණියේ අගමැති, විදෙස් ඇමති, මහකොමසාරිස් වගේ දෙවැනි මට්ටමේ අයයි. ජී. එල්. පීරිස් කව්වේ ආණ්ඩුවේ තරම වැඩවලින් පෙන්වනවා කියලයි. නමුත් අඩුම රාජ්‍ය නායකයින් ප‍්‍රමාණයක් සහභාගි වුණේ මෙම පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවටයි.

මෙම සමුළුව සඳහා ගෙන ආ වාහනවලට මොකද වෙන්නේ? කෙහෙළිය ඇමතිවරයා කියා තිබුණා අමාත්‍යාංශවලට බෙදනවා කියලා. ජනාධිපති ලේකම් සහ බැසිල් රාජපක්ෂ පවසන්නේ එම වාහන පෞද්ගලික ආයතනවලින් ගෙන්වලා ආණ්ඩුව කුලී පදනම මත ලබාගත් බවයි. එම වාහන නැවතත් එම පෞද්ගලික ආයතනවලට ලබාදෙන බව ඔවුන් පවසනවා. ඒක පට්ටපල් බොරුවක්. බෙන්ස් රථ 54 ගෙනාවේ මුදල් අමාත්‍යාංශය මගින්. ජාතික අය වැය දෙපාර්තමේන්තුව මගින් රේගුවට යවපු ලියුමක් තිබෙනවා. එයින් එම වාහනවලට තීරුබදු සහන ඉල්ලලා තිබෙනවා. රේගු වාර්තාවල පැහැදිලිව සඳහන් වෙනවා මුදල් ගෙවීම් ඇතුළු ගනුදෙනු පිළිබඳ සියලූ වගකීම් මුදල් අමාත්‍යාංශය බාරගෙන තිබෙන බවට. ඒ අනුව හරි පැහැදිලියි මෙම වාහන ගෙනාවේ ආණ්ඩුවයි.

එම වාහන පෞද්ගලික ආයතනවලට දෙනවා නම් එතනත් ප‍්‍රශ්නයක් තිබෙනවා. එම පුද්ගලික ආයතනවලට අසීමාන්තිකව බදු සහන දෙන්නේ කොහොමද? ඒක ආණ්ඩුවට විශාල පාඩුවක්. එම පෞද්ගලික ව්‍යාපාර අයිති ආණ්ඩුවේ හෙන්චයියලාටද? බෙන්ස් රථවලට පමණක් බදු සහනයක් කෝටි 75ක්. එක් බෙන්ස් රථයක් කෝටි තුනහමාරක් පමණ වෙනවා. පෞද්ගලික ආයතන විසින් එම වාහන නැවත විකුණනවා නම් ඔවුන් විකුණන්නේ බදු වටිනාකමත් සමගයි. එයත් වැරදි කි‍්‍රයාමාර්ගයක්. ආණ්ඩුව කළ යුතුව තිබෙන්නේ, පිළිගත් ක‍්‍රමවේදයකට අනුව එම වාහන වෙන්දේසි කිරීමයි. නැතුව මෙම වාහන පවුලේ අය බෙදාගන්නවාද? දැන් කතාබහක් තිබෙනවා පවුලේ අය බෙදාගත්තාම ඇමතිවරුන්ට ඉතිරි වෙන්නෙත් නැහැ කියලා.

සමුළුවේ ශේෂ පත‍්‍රයේ විශේෂ කරුණක් වන්නේ බි‍්‍රතාන්‍ය අගමැති කැමරන්ගේ ප‍්‍රකාශයයි. කිසිදු රටකට අයිතියක් නැහැ තවත් රටක අභ්‍යන්තර ප‍්‍රශ්නවලට මැදිහත් වෙන්න. අපි ස්වාධීන ස්වෛරී රාජ්‍යයක්. ජනතා විමුක්ති පෙරමුණේ මතය ඒකයි. ලංකාව බි‍්‍රතාන්‍යයේ කොළණියක් කියලා කැමරන් එවැනි ප‍්‍රකාශ කරනවා නම් එවැනි අයිතියක් ඔහුට නෑ කියලා අපි කියනවා. නමුත් කැමරන් එවැනි ප‍්‍රකාශ කරන තැනකට පත්කළේ මේ ආණ්ඩුවයි.

ඔහු ජාත්‍යන්තර පරීක්ෂණ ගැන කියනවා. ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ වැඩ පිළිවෙලට අනුව ආණ්ඩුව යුද්ධයෙන් පසු පීඩාවට පත්වූ ජනතාවගේ ගැටලු සොයන්න සත්‍ය කොමිසමක් පත්කළා නම් ඒ අනුව කටයුතු කළානම් කැමරන්ලට මෙවැනි ප‍්‍රකාශ කරන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. කැමරන් තමන්ට ඕන විදිහට බලය පාවිච්චි කරලා සමුළුවේදී ප‍්‍රකාශ නිකුත් කළා. ආණ්ඩුව ඔහුට ඉඩ හදපු එකත්, කැමරන් එවැනි ප‍්‍රකාශ කිරීමත් දෙකම වැරදියි.

ආණ්ඩුවේ සමහර පක්ෂ දැන් බොරුවට එළියට ඇවිත් දඟලනවා. චාල්ස් එනකොට ආණ්ඩුව ඔහුට රතු පලස් එලනවිට හොර පූසෝ වගේ ගුල්යටට වෙලා හිටියා. දැන් බොරුවට බෙරිහන් දෙනවා. ආණ්ඩුව ජනතාව ඉදිරියේ චණ්ඩිපාට් දානවා. නමුත් ලිඛිතව ජාත්‍යන්තර පරීක්ෂණවලට එකඟ වෙලයි තිබෙන්නේ.

ශි‍්‍ර ලංකාව සභාපතිකම වෙනුවෙන් කැලම් මැක්රේට රටට ඇතුල් වෙන්න වීසා ලබාදුන්නා. ඔහුට "එව බලව" කිව්වා. ලංකාවට ඇවිත් ඇත්ත ඇති සැටියෙන් බලාගන්න කියලා ආරාධනා කළා. නමුත් අනුරාධපුරයේදී ආණ්ඩුවේ අයම ඔහුට විරුද්ධව උද්ඝෝෂණ කළා. එමගින් රටේ තත්ත්වය ලෝකයම දැනගත්තා. ලංකාවේ ඇත්ත තත්ත්වය ජාත්‍යන්තරය පුරා ප‍්‍රචාරය කළා. එතරම් පිළිගැනීමක් නැති චැනල් 4 නාලිකාවට මේ ආණ්ඩුව වටිනාකමක් හදලා දුන්නා. කැලම් මැක්රේට එන්න ඉඩදීලා නැති ප‍්‍රශ්න ඇති කරගත්තා. චැනල් 4 නාලිකාව මෑතකදී ඉදිරිපත් කළ වීඩියෝ පටයේ යුද සමයේදී සිදුවූ ලිංගික අතවර පිළිබඳව දර්ශන ඇතුළත් වෙලා තිබුණා.

ආණ්ඩුව ඒ සඳහා රාජ්‍යතාන්ති‍්‍රක උත්තර ලබාදුන්නේ නැහැ. නමුත්,පොදුරාජ්‍ය මණ්ඩල සමුළු එකඟතාවයේ 66 වගන්තියේදී ආණ්ඩුව එකඟ වෙනවා යුද තත්ත්වයන් තුළ සිදුවූ ලිංගික අතවරයන් පිළිබඳ පරීක්ෂණ කළයුතුයි කියලා. ආණ්ඩුව රහසේ ගිවිසුම් අත්සන් කරලා එළිපිට ඒවා උල්ලංඝණය කරනවා. ඇත්තටම භාවිතාවේදී ඒවා ඔප්පු කරලා පෙන්නන්නේ නැහැ.

මෙවර පැවැති පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවට මුරුසියේ ජනපති ආවේ නැහැ. ඔහු කීවේ "මගේ රටේ පොදුරාජ්‍ය සමුළුව තියනවාට වඩා මානව හිමිකම් ආරක්ෂා කිරිම වටිනවා" කියලයි. ඒ අනුව 2015දී මුරුසියේ පැවැත්වීමට තිබූ අවස්ථාව අහිමිවෙනවා. නමුත් ඔහු තමන්ගේ රටේ මානව හිමිකම් වෙනුවෙන් ඍජුව පෙනී සිටියා.

මේ සමුළුවෙන් පස්සේ අපිට මොකක්ද ලැබුණේ. ලංකාව යටත් විජිත කොලනියක් බව නැවත තහවුරුවීම පමණයි. කැසිනෝ තෝතැන්නක් බවට පත්වීම පමණයි. කෝටි ගණනක් වියදම් කිරීමයි. මානවහිමිකම් නැති රටක් ලෙස ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලූවට ලක්වීමයි. නැති ප‍්‍රශ්න ඇති කර ගැනීමයි. මේ ආණ්ඩුව ණය වෙලා හිඟාකාලා මගුලක් කෑවා. මගුලට ආපු අය කතා පවත්වද්දී ආණ්ඩුවේ රෙදි ගැලෙව්වා. අන්තිමට ආණ්ඩුව ණයට මගුල් කාලා රෙදිගලවා ගත්තා.

0 comments:

Post a Comment