Thursday, October 31, 2013

සුනේ චම්පා . . . ආජාරේ . . .

වැනි ලතා මංගේෂ්කාර් ගැයූ එම ගී ඇගේ හඩින් එදා ගයද්දී ඇය මයික්‍රෆෝනයටවත් උස නැති පුංචි කෙල්ලකි. ළමා සාරියක් ඇඳගෙන වේදිකාවට නැඟි ඇය මේ හින්දි ගීත හරි අපූරුවට ගායනා කරන විට ඒ හඬ ඇසෙන . . . නෑසෙන මානයේ සිටි අය පවා ගල් ගැසී ඊට සවන් යොමු කළේ නිරායාසයෙනි.

එදා මුළු රටක්ම හින්දි ගීතයෙන් සිය වසඟයට ගත් මේ හුරුබුහුටි කෙල්ල අද ගී විල මැද සුපිපුණු කෝකිලාවියකි. ඇගේ මධුර මනෝහර හඬ එදා මෙන්ම අදට ද ප්‍රේමණීයයි. සිංහල ගීතවලට වඩා හින්දි ගීත ගායනා කළ ඇය හින්දි ගී ලොව ඔටුනු පළන් රැජිනයි. සුවහසක් සංගීත ලෝලීන්ගේ ආදරය තාමත් ඇයව ඉහළින්ම ඔසවා තබයි.

* චම්පා ඔබ ගැන තොරතුරක් කාලෙකින්ම නෑ . . . ?
මම ඉතින් පුරුදු විදිහට මගේ වැඩ කටයුතු කරගෙන පාඩුවේ පැත්තකට වෙලා ඉන්න කෙනානේ. සාමාන්‍යයෙන් අලුතින් වැඩක් කරන්නේ නැතිව බොරුවට මාධ්‍යවලට කතා කරන්න මම කැමැති නැහැ. කැපී පෙනීමේ ආශාවක් කවදත් මට තිබුණේ නෑ.

* ඒත් ඔබ සරසවියේ ආරාධනාව පිළිගත්තා?
කලාකරුවන්ගේ ආදරණීය පුවත්පතවීමත් එද ඉඳන් අපි ගැන සොයා බලපු නිසාත්, ළඟදී අලුතින් වැඩක් කරපු නිසාත් මට හිතුණා මේ කතාබහට එකතු වෙන්න .

* නිහඬව සිටීම ඔබ වැනි ජනප්‍රිය ගායිකාවකට අවාසියක් නොවේද?
පුදුමේ කියන්නේ මම අවුරුදු දහයක් නිහඬව ඉඳලා ආවත් මිනිස්සුන්ට මාව මතකයි. එදා ලද ජනප්‍රියත්වය ඒ විදිහටම අදටත් මට හිමි වෙනවා. නොමැකෙන දේවල් මිනිසුන්ගේ මතකයේ තැබුවොත් ජනප්‍රියත්වය ගැන බිය විය යුතු නැහැ.

* චම්පා සිංහල සංගීත ක්ෂේත්‍රයේ හින්දි ගී රැජින ඔබයි. තාමත් ඔබේ තැනට කවුරුත්ම ඇවිත් නැහැ?
මේ හැකියාව මට දෙවියන් දීපු දෙයක් වෙන්න ඇති. අවුරුදු පහළොවෙන් පටන් ගත්ත ගමනක් මේ. මගේ දක්ෂතා තුළින් මම නමක් ගොඩ නඟා ගත්තේ, කවුරුවත්ව කපා කොටා ගෙන කාටවත් ඊර්ෂ්‍යා කරමින් නෙමේ මෙච්චර කාලයක් මම රැඳී සිටියේ. මම කැමැතියි දක්ෂතාවලින් පිරුණු අය මෙතනට එනවාට. මගේ සංගීත පංති තුළින් මම උපරිමය ළමයින්ට ලබා දෙන්නේ හෙට දවසේ දක්ෂයින් අවැසි නිසයි.

* ඔබ අද සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණත්වයට පත් වූ විනිසුරුවරියක්. ගුරුවරියක්?
අලුත්, අලුත් දේ ලෝකයට එකතු විය යුතුයි. රියැලිටි වැඩසටහන් වලට මම සහභාගි වෙන්නේ නවකයින්ට අත දෙන්න ඇති කැමැත්ත නිසාමයි. ඇත්තටම මම දකිනවා මේ රියැලිටි කලාවෙන් සැඟවිලා ඉන්න දක්ෂයින් එළියට එන අවස්ථා. සංගීතය පිළිබඳ පුළුල් දැනුමක් මම ලබාගෙන ඇති නිසා තමා සංගීත පංති පවත්වන්නේ. මේ කිසි දේකින් මුදල්වත්, ප්‍රසිද්ධියවත් නෙමේ මට ඕනෑ. අවංකවම සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් යමක් කරන්න.

* එහෙත් අද බොහෝ පිරිස් මේ රියැලිටි වැඩසටහන් හෙළා දකිනවා?
හෙළා දකිනවා නම් කොච්චරත් දේවල් තියෙනවාද? මෙහෙමයි යම් වටිනාකමක් ඇතිවයි රියැලිටි වැඩ සටහන් මාධ්‍ය ආයතනවලින් පැවැත්විය යුත්තේ. අපි තමයි මෙතන හැමදාම ඉන්න ඕනෑ කියන තැන මම නැහැ.

* ඔබේ හඬ වැඩිපුරම ඇසුණේ චිත්‍රපට සංගීත පසුබිමෙන්. ඒත් චම්පා ඇගයීම් නම් නැහැ නේද?
චිත්‍රපට අසූවකට එහා ගී ගයලා තිබෙනවා. මම ලැබෙන දේ උපරිමයෙන් හැමදාමත් කරනවා. ඇත්තටම මේ වෙනකම් නම් මට කිසිම සම්මානයක් ලැබිල නැහැ. රසික – රසිකාවන්ගෙන් හිමිවෙන මේ ආචාරය – අගය කිරීම තමා මා ලබන එකම සම්මානය.

* ඔව් ඉතිං ළඟදී කරපු අලුත් වැඩේ ගැනත් කතා කරමුකෝ?
සංඛ දිනෙත් එක්කයි මේ අලුත්ම ගීතය ගැයුවේ. මම හිතනවා රසිකයින් ආදරයෙන් මේ ගීතය වැලඳ ගනී කියලා. වැඩි විස්තර ගීතය රස විඳලම කතා කරමු නේද?

* ප්‍රසංග වේදිකාවෙන් ඔබ හොඳ ඉල්ලුමක් ඇති ගායිකාවක්?
ඒ ගැන නිහතමානීව මම සතුටු වෙනවා. ගීතයෙන් කෙනෙකුගේ හදවත සුවපත් කරනවා කියන එක විශාල පිනක්. මහන්සි නොබලා අදටත් දුර බැහැර වුව ප්‍රසංග වලට මම සහභාගි වෙන්නේ මාව බලාපොරොත්තුවෙන් ඉන්න පිරිසගේ හැඟීම් මට දැනෙන හින්දා. දෙස් – විදෙස් ප්‍රසංගවලට මට පුළුවන් විදිහට සහභාගි වෙනවා.

* චම්පා ප්‍රසංග වේදිකාවේ ඔබවම බලාපොරොත්තු වෙන මේ පිරිස ගැන මොකද හිතෙන්නේ?
පුංචි කාලේ ඉඳන් මම ඒ සතුට අත්වින්ඳා. මගේ ගීත අහන්න වාගේම මාව දැක බලා ගන්නත් කැමැති පිරිස ප්‍රසංගවලට මම එනතුරුම බලන් ඉන්නවා. මේ අසීමිත ආදරය මට පුදුම ශක්තියක් සංගීත ජීවිතයට.

* නිරෝෂා විරාජිනි ද හින්දි ගී ගැයීමේ හපනියක්. ඇත්තටම ඇයව ඔබට අභියෝගයක්ද?
මට කවුරුත්ම අභියෝගයක් නෙමේ. නිරෝෂා ගොඩාක් දක්ෂ කෙනෙක්. ඇය ගායිකාවක ලෙස උපරිමයට ගියා. නිරෝෂා ඇගේ ගමන යනවා. මම මගේ ගමන යනවා. මොනවටද භේද ඇතිකර ගන්නේ.

* චම්පා වෘත්තීය ජීවිතය තුළ ඔබ ඉහළටම නැග්ගා. පෞද්ගලික ජීවිතය තුළ පසුබෑමක් දැනෙන්නේ නැද්ද?
තරාදියක් හරි ගාණට එකට බැලන්ස් වෙලා තියනවා ඔබ දැක තිබේද? නෑනේ . . . මේ ජීවිතයත් එහෙමයි. එක පැත්තක් ඉහළ නඟින කොට තව පැත්තක් පහළට බහිනවා. දවස පුරා මට කරන්න ගොඩාක් වැඩ තියනවා. ඉතිං පසුබෑම් ගැන හිත හිත ළතවෙන්න මට කාලයක් නැහැ.

* ඔබටත් ලස්සන පවුල් ජීවිතයක් තිබුණා නම් කියලා හිතෙන්නේ නැද්ද අද?
පවුල් ජීවිතය පෞද්ගලිකයි. ඒ දේවල් වැඩිපුර කතා කළ යුතු නැහැ. ඇයි අද මට ලස්සන පුතෙක් ඉන්නවානේ. මගේ ඉදිරි ජීවිතය ගෙනියන්න ඒ මදිද?

* ඒත් ඔබ ආදරණීය ගායිකාවක්. ජීවිතේ ඉදිරිය තනියම ගත කරද්දී පාළුවක් දැනේනේ නැද්ද?
අපි කවුරුත් මේ ලෝකයට එන්නේ තනියම නම් මේ ලෝකයෙන් යන්නෙත් තනියම නම් ඇයි ඒ අතරමැද ගත කරන ජීවිතේ තනිකම ගැන හිතන්නේ. මම අද හොඳ අම්මා කෙනෙක්. පුතු පැටියා හින්දා මට පාළුව, තනිකම දැනෙන්නේ නැහැ. ලෝකේ උතුම්ම අම්මා කියන චරිතය, මම ඒ උතුම් පදවිය ලැබුවා. ඊට වඩා දෙයක් මට අවශ්‍ය නැහැ.

* යලිත් විවාහයකට යන්න හිතෙන්නේ නැද්ද?
මගේ මුළු ජීවිතයම දැන් මගේ පුතා. දවස පුරා පුතා ගැනම හිතනවා හැරෙන්න ඔබ ඔය කියන දේවල් මගේ හිතට එන්නේ නැහැ. හෙට ජීවිතේ ගැන දෛවය තමා තීරණය කරන්නේ.

* පුතු පැටියාට පිය සෙනෙහස නෑ නේද?
මගේ පුතා ලොකු වුණු දවසට මේ හැම දේම තේරුම් ගනියි. මම මහා පවුරක් වගේ පුතා වටා ඉන්නවා. අම්මාගේ ආදරයෙන් පුතාගේ ජීවිතය පිරිලා තියෙන්නේ.

* පුතා දැන් ලොකුයි?
පැටියාට තාම වයස නවයයි. මම පස්සෙන්ම ඉන්න ඕනෑ. විදේශ ප්‍රසංගවලට යද්දී ගොඩාක් වෙලාවට මම පුතා අරගෙන යන්නේ. මට අද ඕනෑ පුතාට හොඳට උගන්වන්න. එයා සංගීතයටත් ආසයි. හැබැයි ගගනගාමියෙක් වෙන්න ඊට වඩා ආසයි.

* චම්පා ඔබ තරම් කටකතාවලට ලක් වුණු ගායිකාවක් තවත් ඉන්නවද?
කටකතා වලට ලක්වුණේ පුංචිම කාලේ. එදා නම් පුදුම දුකක් ඇති වුණා. ටිකෙන් ටික දරා ගැනීමේ ශක්තිය ඇති වුණා. පල ඇති රුකටමනේ ගල් වදින්නේ. මම ගායිකාවක ලෙස පිබිදීගෙන එන කාලෙයි අහස - පොළව නුහුලන කතා මිනිස්සු කියන්න ගත්තේ. ඊට පසුත් කොච්චර දේවල් කීවද? හැබැයි ඔය කටකතාවලට බැරි වුණා මගේ රසික රසිකාවන්ගේ හිත්වලින් මාව අතුගාලා දාන්න.

* පුතා එක්ක ජීවත්වෙන්න මේ ලැබෙන මුදල් ප්‍රමාණවත්ද?
හොඳටම ඇති. කළමනාකරණය කරගෙන ජීවිතය ගෙනියනවා. මේ ජීවිතේ වැඩිපුරම දුක තමා. ඒත් සතුටින් මම ඉන්නවා.

* අවසානේ ඔබට මොනවත් කියන්න තියෙනවාද?
චම්පා කල්හාරි කියන නාමය සංගීත ක්ෂේත්‍රයේ ඉහළින්ම තැබූ මගේ ආදරණිය රසික රසිකාවන්ට මමත් හදවතින්ම ආදරෙයි කියන්න. මගේ මවුපියන් මගේ ජීවිතේ පස්සෙන්ම උන්නා. විශේෂයෙන් මගේ තාත්තා සතුටු වෙනවා ඇති එයාගේ දුව ගීත ලෝකයේ ආ දුර දෙස බලලා. දෛවයෙන් මම ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. පුතා හදාගෙන පුළුවන් කාලයක් ගී ගයාගෙන සැහැල්ලුවෙන් ජීවිතයට මුහුණ දෙනවා. ඉස්මතු වෙන්න දේවල් මම කරන්නේ නැහැ. ලැබෙන දේවල් සමඟ ජිවත්වෙන කොට කාගේ වුණත් ජීවිතේ ලස්සනයි.

ඇගෙන් සමුගෙන එද්දී මට මතක් වූයේ ප්‍රියානන්ද විජේසුන්දර ලියූ චම්පා ගැයූ මුල්ම සිංහල ගීතය
‘මල් යායේ සමනල්ලු
පාළු වී ගිහින්
ඉස්කෝලේ අන්තිම
දවස ඇවිත් . . .’
ඇත්තමයි ඒ හඬ ඇසෙද්දී දැහැනකට සමවැදුනා වාගේ . . .

1 comments: