Friday, November 15, 2013

සුරූපී ජියා ඛාන් ජූනි 3 වැනිදා හිටි හැටියේම හොරු අරන් ගියා වගේ ජීවිතයෙන් අතුරුදන් වූයේ මුළු බොලිවුඩයම කම්පාවට පත් කරමිනි. විදුලි පංකාවේ රැහැන් පටකින් එල්ලී මිය ගොස් සිටි ඇය සිය දිවි නසාගෙන ඇති බව නීතිය මඟින් ද තීරණය කෙරිණි. එසේ මිය යාමට ඇයට බොහෝ කාරණා ඇති බව බොහෝ දෙනා පැවසුවත් ඇයගේ මව රබියා ඛාන් නම් කොහෙත්ම එය පිළිගත්තේ නැත.

ඉදිරියේදී රඟපෑමට ලැබුණු සිනමාපට ගැන ඇය මහත් බලාපොරොත්තුවෙන් සිටි බව මව දැන සිටියාය. බිඳුණු, බිඳෙන පෙම බොලිවුඩ් තාරකාවකට සිය දිවි නසා ගැනීමට හේතුවක් නොවෙයි. ඒ සියල්ලටම වඩා මවට සැක සිතුණේ සිය දිවි නසා ගැනීමකදී දිව එළියට ඇදී, දෑස් ඉලිප්පී තිබිය යුතු නමුත් ජියාගේ එසේ නොතිබීම නිසයි.

කලක් සිනමා තාරකාවක්ව සිටි රබියා, සිනමාපටයකදී අසාධාරණයට ලක් වූ කෙනකුට යුක්තිය ඉටු කරන්නාක් ලෙසින් සිය සටන අත් නොහැරියාය. දියණිය වෙනුවෙන් ඇය මහාධිකරණයට ගියාය. නීතියෙන් වළලන්නට සෑදූ දෙයට වඩා ඇය සිතූ දේ නිවැරැදිය.

අධිකරණ වෛද්‍ය වාර්තාව මඟින් හෙළි වී ඇත්තේ ඇය මරා දමා විදුලි පංකාවක එල්ලා ඇති බවයි. එසේ කර ඇත්තේ ජියා සිය දිවි නසාගෙන ඇති බව ලෝකයාට ඒත්තු ගැන්වීමටයි.

කලීනා අධිකරණ වෛද්‍ය රසායනාගාරයට අනුව ජියාගේ නියපොතුවල මිනිස් මස් කැබලි තිබී ඇත. ඇයගේ යට ඇඳුම් ලෙයින් තෙත් වී තිබුණු අතර මරා දැමීමට පෙර ඝාතකයා මහත් සේ වධ දී තිබූ බව එයින් හෙළි විය. ඇයගේ ගත පුරාම විවිධ තුවාල තිබී ඇත. ජියා මත්පැන් පානය කර සිටි බව ද දැන් අනාවරණය වී තිබේ. ඝාතකයා ඇයට මධුවිතෙන් මත්වීමට සලස්වා අඩපණකර ඇත. මත්පැන් පානය කළ විට පහසුවෙන් මරා එල්ලා දැමිය හැකි යැයි ඔහු විශ්වාස කළ බව නොඅනුමානය.



මවත්, සොයුරියත් නැති මොහොතේ මේ අපරාධය සිදුවිණි. උසාවිය මෙය සිය දිවි නසා ගැනීමක් ලෙසට දුන් තීන්දුවට රබියා මුල සිටම විරුද්ධ වූවාය. තවම ඝාතකයා හඳුනාගෙන නැතත් සූරජ් පන්චෝලි ගැන ඇති සැකය නම් දුරු වී නොමැත. මිය යන විට විසිපස් හැවිරිදි වියේ පසු වූ ජියා වඩාත්ම ජනප්‍රිය වී සිටියේ මෙගා තරුව අමිතාබ් බච්චන් සමඟ රඟපෑ ‘නිශාබ්’ හි දඟකාර යුවතියගේ චරිතයෙනුයි. 2007 දී ‘නිශාබ්’ සිනමාපටයෙන් රංගනයට පිවිසි ඇය පළමු රංගනයෙන්ම ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම නවක නිළිය ලෙස නිර්දේශ වූවාය. සිනමාපටයට ‘ටේක් ලයිෆ්’ ගීය ගැයුවේ ද ඇයයි. 1998 දී ‘දිල් සේ’ සිනමාපටයේ මෙගානාගේ ළමා විය රඟපා ඇත්තේත් ජියාය.

ගජිනි (2008) හි සුනීතා ලෙස ද, හවුස්ෆුල් (2012) හි දේවිකා ලෙස ද ජියා රඟපා තිබේ. රඟපා ඇත්තේ අතේ ඇඟිලි ගණනටත් අඩු සිනමාපට ගණනක වුවත් ඇය කුතුහලය, ආදරය, ත්‍රාසය පිරි තවත් බොලිවුඩ් කතා තේමාවකට මාතෘකාවක් සපයමින් මිය ගියාය. මේ වන විටත් ජියාගේ ජීවිත කතාව අලළා සැකසූ ටෙලි නාට්‍යයක් නිපදවා තිබේ. එය ‘යේ හෛ ආශිකි’ නමින් ඉදිරියේදී විකාශය වීමට නියමිතයි. මිහිකා වර්මා මෙහි ජියාගේ චරිතය රඟන්නීය.


0 comments:

Post a Comment