Thursday, October 17, 2013

අනූව දශකයේ සංගීත ක්ෂේත්‍රය බැබළ වූ තරු අතර ප්‍රින්ස් උදය ප්‍රියන්ත මුල් පෙළේම සිටී. එවකට ඔහුගේ සී.ඩී. තැටි සහ කැසට් පට සඳහා වෙළෙඳ‍පොළේ විශාල ඉල්ලුමක් තිබිණ. නාලිකා තුළ නිරන්තරයෙන් ප්‍රින්ස්ගේ ගීත ප්‍රචාරය කෙරිනි.

එකල යෞවනියන්ගේ සිහින කුමරා වූ ප්‍රින්ස් අද ජීවිතයේ යම් දුරක් පැමිණ සිටී. වර්තමානය වන විට ප්‍රින්ස්ගේ ගායන දිවියේ ද යම් නිහැඩියාවක් පෙන්නුම් කරයි. කලකට පසුව අපි ප්‍රින්ස් අමතා ඔහුගේ ජීවිතය සම්බන්ධ මෙකී සියලු කාරණා පිළිබඳ විමසන්නට අපි සිතුවෙමු.

ඇයි දැන් නිහඬ ?

නිහැඩියාවට හේතුව අලුත් ගීත නිර්මාණය නොකිරීම කියලා නම් හිතන්න එපා. මම මේ වෙද්දිත් අලුත් ගීත තිහක් විතර කරලා තියනවා.

ඒත් අපි ඒ බවක් දන්නේ නැහැනේ ?

කවුරුවත් දැන ගන්නේ කොහොමද මං ඒවා ප්‍රචාරය කරවා ගන්න විදියක් නැතුව ළඟ තියාගෙන ඉන්නවා.

ඇයි ඒ ?

අපි ඉස්සර ගීත ඉදිරිපත් කළේ සී.ඩී. පට හා කැසට් පට තුළින්. ඒත් අද ඒ තත්ත්වය වෙනස්නේ. අද හුඟක් ගීත නිර්මාණය වෙන්නෙ රිගිං ටෝන් විදිහට. මමත් රිගිංටෝන් වෙනුවෙනුත් මේ වෙද්දී ගී කීපයක්ම නිකුත් කර තිබෙනවා.

විවිධ සංගීත පෙරැළි තුළින් නව පරපුරක් මතුවද්දී පැරණි අය ඉබේම යටපත් වෙනවා

වෙළෙඳපළේ මගේ අලුත් කැසට්පටයට හා සී.ඩී තැටි නැති වුණාට නාලිකාවල ඉස්සර තරම් ගීත ප්‍රචාරය නොවුණට මා තවම යටපත් වෙලා නැහැ. දෙස් විදෙස් ප්‍රසංගවල තවමත් රැඳී සිටිනවා.

සංදර්ශන මගින් පමණක් ආර්ථික පැවැත්ම ගෙන යන්න පුළුවන්ද ?

මම කවදාවත් සංගීතයෙන් ආර්ථික පැවැත්ම ගෙන ගියේ නැහැ. මට වෙනත් ව්‍යාපාර තියෙනවා.

මොන දේ තිබුණත් එදා වගේම තවමත් ඔබ තනිවෙලා ?

මගේ පියා ජීවතුන් අතර නැහැ. නංගීත් විවාහ වෙලා වෙනමම ජීවත් වෙනවා. ඒත් මමත් එක්ක මගෙ අම්මා ඉන්නවා. අම්මා තමයි මම ගැන හොයා බලන්නේ. ඒ හින්දා මං තනිවෙලා නැහැ.

ඔබට කවමදාවත් පෙම්වතියක් ඉඳලම නැද්ද?

සම්බන්ධතා කීපයක්ම තිබුණා. විවිධ හේතු මත ඒ සම්බන්ධතා ගිලිහුණා.

ඒ සම්බන්ධතා අතර අපේ ජනප්‍රියතම ගායිකාවකුත් හිටියා කියල ආරංචියි.

ඔව්, ඒ කතාව ඇත්ත.

ප්‍රින්ස් තනිකඩව ඉන්නේ ඒ ගායිකාව ඔබ හැර ගිය හින්දය කියන කතාවත් ඇත්තද ?

ඒ කතාව නම් බොරුවක්. අපි දෙන්නා මුලදී හොඳ යාළුවො. පස්සේ ඒක ඉබේටම ප්‍රේමයකට හැරුණා. ඒ කාලෙ අපි දෙන්නම ජනප්‍රියත්වයේ ඉහළම තැන්වල සිටියේ. ඒ කාර්යබහුලකමත් එක්ක දෙන්න ඉබේම ඈත්වුණා. හැබැයි ඒ ප්‍රේම සම්බන්ධ බිඳීයාම මගෙ මේ තනිකඩ ජීවිතයට හේතුවක් නම් නමෛයි. ඒ වගේම ඒ ප්‍රේමය බිඳී ගියාට තවමත් අපි යාළුවෝ. ඇය මගෙ තාත්තගෙ දානේ  ගෙදරත් ආවා.

පස්සේ කාලෙක ඔබේ පරණ පෙම්වතිය දෙතුන් වතාවක්ම විවාහ වුණා. හැබැයි ඒ හැම විවාහයක්ම බිඳ වැටුණා.

අපේ ජීවිත විවිධාකාරවල හැලහැප්පීම්වලට ලක්වෙනවා. ඇයත් ජීවිතයේ විවිධ හැල හැප්පීම්වලට ලක්වුණා තමයි.

අද ඔබ දෙදෙනාම හුදකලා ජීවිත ගත කරනවා. ආයෙම අලුතින් ජීවිතය අරඹන්න ඔබ දෙදෙනාට පුළුවන්නේ?

තවමත් අපි හොඳ යාළුවෝ. එදා වගේම අදත් අපි ඒ යාළුකම තුළ රැඳිලා ඉන්නවා.

නමුත් එදා ඔය දෙන්නගෙ ප්‍රේමය ආරම්භ කළෙත් යාළු කමක් හරහා නේද ?

ඔව්

දෙවැනි වතාවටත් මිත්‍රත්වය ප්‍රේමයකට හරවන්න සුදුසු යුගයක අද ඔය දෙන්නා ඉන්නවා

එහෙම දෙයක් ගැන නම් මම තවම හිතලා නැහැ.

බැරි වෙලාවත් ඉදිරියේදී එහෙම දෙයක් වුණොත්

අනාගතේ සිදුවන දේවල් දැම්ම කියන්න බැහැනේ.

ඔබේ ජීවිතේ ගෙවිල යන්නේ කෙහොමද ?‍

පොත්පත් කියනවා, සින්දු අහනවා.

ඔබේම ගීත ?

මම ගොඩක් වේලාවට අහන්නෙ මගෙ ගීත නමෛයි. වික්ටර්, සුනිල්, රූකාන්ත,  ටී.එම්. චන්ද්‍ර‍ලේඛා, නීලා වැනි අයගේ ගීත අහන්න තමයි කැමති.

වඩාත්ම ප්‍රියකරන ගීතය

ඒ කැමැත්ත කාලෙන් කාලෙට වෙනස් වෙනවා. ටී.එම්. ජයරත්නගේ “රාත්‍රිය උදාවෙලා නින්ද ඇයි නොඑන්නේ” ගීතයට තමයි මේ දවස්වල ගොඩක් කැමති.

ප්‍රින්ස්ගේ ඔය තනිකඩ ජීවිතයේ වෙනසක් දකින්න අදහසක් නැද්ද ?

මගෙ අම්මගෙ ලොකුම රාජකාරිය තමයි මට මනමාලියෝ හොයන එක. ඒ විදියට එන යෝජනා අතර සුදුසු කෙනෙක් හිටියොත් මම ඒ යෝජනාවට කැමති වනවා කියන අදහස දැන් මටත් ඇතිවෙලා තියෙන්නේ. බලමු නේද මොකද වෙන්නේ කියලා.

0 comments:

Post a Comment