Tuesday, November 12, 2013

කොහොමද අනර්කලී මොනවද තොරතුරු?
හොඳින් ඉන්නවා. වැඩ කීපයකම යෙදිල ඉන්නවා. සංජය නිර්මාල්ගේ ‘ජූලි 7 යි’ චිත්‍රපටයේ රූපගත කිරීම් වලට සහභාගි වෙනවා. ප්‍රධාන වශයෙන් ම ‘දෙරණ City of dance’ වැඩසටහනට පසුගිය දිනවල සහභාගි වුණා. ඒ ‍වගේ ම දේශපාලන කටයුතුවලත් මගේ ව්‍යාපාරික කටයුතු වලත් යෙදිල ඉන්නවා.

“දෙරණ City of dance’ වැඩසටහනේ ඔ‍බේ නිවේදන කටයුතු වලට ලැබුණු ප්‍රතිචාර කො‍ෙහාමද?
මම කිසියම් වැඩක් බාරගන්නේ ඒ වැඩේට මම ආදරයක් ඇති වුණොත් පමණයි. ඒ වගේ ම ඒ වැඩේ හොඳින් කරගෙන යන්න මට ලැබෙයි කියලා හිතුණොත් දැනුණොත් පමණයි. නර්තනයටත් සංගීතයටත් ඉතා ම ආදරය කරන මම දෙරණ City of dance වැනි වැඩසටහනකට දායක වෙන්න ලැබීම ගැන සතුටු වෙනවා‍. මේ වැඩසටහන අපේ යොවුන් පරපුරට හොඳ ආදර්ශයක් මඟ පෙන්වීමක් ලබාදෙන වැඩසටහනක්. මේ වැඩසටහනට ලැබෙන ප්‍රතිචාර අනුව මට පැහැදිලි වෙනවා මේ වැඩසටහන සමාජයේ කොතරම් ජනප්‍රිය ද කියලා.

අපේ රටේ යොවුන් කලාකරුවන්ගේ කලා කාරිනියන්ගේ නර්තන හැකියාවන් මතු කරගන්න අවස්ථාවක් තිබුණේ නෑ. ‘දෙරණ City of dance’ වැඩසටහනෙන් ඒ අවස්ථාව ලැබුණා. මෙයින් තමයි ප්‍රේක්ෂකයින්ට දැනගන්න ලැබුණේ අපේ ර‍ෙට් ඉන්න තරුණ කලාකරුවන්ට හොඳට නටන්න පුළුවන් කියලා.

ඔබට මොනවද හිතෙන්නේ අපේ තරුණ කලාකරුවන්ගේ නර්තන හැකියාවන් ගැන.
ඇතැම් අය කියන කතාවක් තමයි, අපේ රටේ රංගන ශිල්පීන්ට ශිල්පිනියන්ට නටන්න බැහැයි කියන එක. නමුත් ‍මම නම් ඉස්සර ඉඳලම දන්නවා අපේ තරුණ කලාකරුවන්ගේ නර්තන හැකියාවන් ගැන. ‘දෙරණ ලිට්ල් ස්ටාර්’ වැනි වැඩසටහන්වලින් අපේ රටේ කුඩා දරුවන්ගේ පවා නර්තන හැකියාවන් ඉස්මතු කරන්න ‍උත්සාහ ගන්නවා. ඒ නිසා නර්තනයට අද ගොඩක් දෙනෙක් යොමුවෙලා තියෙනවා.
දෙරණ City of dance’ අවසන් වැඩසටහනට මම සහභාගි වුණේ හරිම අමාරුවෙන්. කකුලක ආබාධයක් නිසා ඒ කකුල ඉදිමිලා ඇවිදගන්නවත් බැරිව තිබුණා. මම හිතුවේ එදා වැඩසහන කරගන්න බැරි වෙයි කියලා. මේ වැඩසටහනට තියෙන ආදරය නිසා ම කොහොම හරි වැඩසටහනට සහභාගි වෙලා මගේ උපරිම දායකත්වය ලබාදුන්නා.

තවත් මෙවැනි වැඩසටහනක් මෙහෙයවන්න ආරාධනයක් ලැබුණොත් එය ඔබ බාරගන්නවා ද?
හොඳ තත්ත්වයක තිබෙන වැඩසටහනක් නම් ඒක අලුත් දෙයක් නම් මම අනිවාර්යයෙන් ම බාර ගන්නවා.

දැන් ඔබ ටෙලිනාට්‍යවල වැඩිපුර දකින්න නැත්තේ ඇයි?
ඔව් මම දැන් ටෙලිනාට්‍යවලට වැඩිපුර දායක වෙන්නේ නෑ. මම ප්‍රමුඛත්වය දීල තියෙන්නේ චිත්‍රපට වලට. හැබැයි හොඳ පිටපතක් ලැබුණොත් මම ඒ ටෙලිනාට්‍ය බාරගන්නවා.

කොහොමද ‍ඔබේ දේශපාලන කටයුතු?
දේශපාලන කටයුතු හොඳින් කරගෙන යනවා. ලබන අවුරුද්දේ දකුණු පළාතේ ඡන්දයක් තියේවි.
දකුණු පළාතේ මට ඡන්දය දුන්නු ජනතාව වෙනුවෙන් මට කරන්න ලැබුණු වැඩකටයුතුත් එක්ක මම ලබන පළාත් සභා ඡන්දයට ඉදිරිපත් වෙනවා. දේශපාලනය තුළ මගේ බලාපොරොත්තුව පාර්ලිමේන්තුව නියෝජනය කිරීමයි. ඒ මොකද, අපේ රටේ කාන්තාවන් සහ තරුණ පරපුර වෙනුවෙන් කිසියම් වැඩක් කරන්න මට ලොකු ආශාවක් තියෙනවා. ඒ සඳහා සුදුසු ම තැන තමයි පාර්ලිමේන්තුව.

දැන් නිර්මාණය වන ටෙලිනාට්‍ය ඔබ නරඹනවාද? ඒ නිර්මාණ ගැන ඔබට දැනෙන්නෙ මොනවද?
මට ඉඩ ලැබෙන වෙලාවට මම ටෙලිනාට්‍ය නරඹනවා. හොඳ ඒවත් තියෙනවා නරක ඒවත් තියෙනවා.
කවුරු මොනවිදියේ ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කළත් අධ්‍යක්ෂණය කළත් හොඳ නිර්මාණ පමණක් විකාශය කිරීමේ වගකීම තියෙන්නේ රූපවාහිනි නාළිකාවලට.

නව පරපුරේ රංගන ශිල්පීන් ශිල්පිනියන්ගේ හැකියාවන් ඔබ කොහොමද දකින්නේ?
ගොඩක් දක්ෂතා තියෙන අය නව පරපුරේ ඉන්නවා‍. ඔවුන්ට එළියට එන්න අවස්ථාවක් තමයි නැත්තේ. ඉන්දියාවේ තරුණ නළු නිළියන්ට අපේ රටේ නිර්මාණවලට අවස්ථාව දෙනවාට වඩා අපේ රටේ තරුණ පරපුරට එම අවස්ථාව ලබාදෙන්න කියල මම අපේ රටේ අධ්‍යක්ෂවරුන්ගෙන් සහ නිෂ්පාදකවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඒ මොකද මේ පරපුර මේ අවස්ථාවේ නිර්මාණවලට දායක කරගන්නේ නැතිනම් ඔවුන්ට ඉදිරියට එන්න තරුණ කාලේ අවස්ථාවක් දුන්නේ නැතිනම් ඔවුන් වයසට ගියාට පස්සේ ඒ අවස්ථාව ලැබීම වැඩක් නෑ.

ඔබ ඔබේ කාලයෙන් වැඩි ප්‍රමාණයක් යොදවන්නේ කලා කටයුතුවලට ද දේශපාලන කටයුතු වලට ද?
වැඩි කාලයක් යොදවන්නේ කුමකට ද කියලා මට කියන්න අමාරුයි. නමුත් මම මූලිකත්වය දෙන හැම දේටම මම කැපවෙනවා. අද කාලෙ එක පුද්ගලයෙකුට එක වැඩක් පමණක් කරල සෑහෙන්නේ නෑ. වැඩ දෙක තුනක් එකවර කරන්න සිදුවෙනවා.

ධෛර්ය කැපවීම තියෙනවා නම් කාලය බෙදාගෙන ඒ වැඩ කරන්න පුළුවනි. මම මගේ කාලය කළමනාකරණය කරගෙන දේශපාලන කටයුතුත් කලා කටයුතුත්, ව්‍යාපාරික කටයුතුත් සාර්ථකව කරගෙන යනවා. ක්ෂේත්‍ර ගණනාවක වුණත් එකවර අභියෝග බාරගන්න පුළුවන් කෙනෙක් මම.

අනර්කලී ආකර්ෂාට තිබෙන මේ සමාජ ආකර්ෂණය කුමක් නිසා කියල ද ඔබ හිතන්නේ?
අපේ රටේ ගොඩක් ප්‍රවීණ කලාකරු­‍වෙක් ළඟදී මට එක් කතාවක් කිව්වා. ඒ කතාව මට සම්මානයකට වඩා වටිනවා. “අනර්කලී ඉදිරිපත් කරන සෑම වැඩසටහනක්ම හරිම ලස්සනයි. ඒ මොකද ප්‍රේක්ෂකයින් දන්නවා අනර්කලී කතා කරන්නේ හදවතින් ම තමයි කියලා. “ඒකයි ඒ ප්‍රවීණ කලාකරුවා කිව්ව කතාව. ඒ කතාව සත්‍යයක්. මම හිතන්නේ මගේ රසික රසිකාවියන්ට තේරෙනවා ඇති, මම හැම දෙයක් ම කරන්නේ හදවතින්මයි කියලා.

මම බොරු කියන්නේ නෑ. මම කෙළින් කතා කරන කෙනෙක්. මම රසික රසිකාවියන්ට දක්වන ආදරය එයාලට දැනෙනවා ඇති. ඒ නිසා වෙන්න ඇති මට මෙවැනි සමාජ ආකර්ෂණයක් තියෙන්නේ.

- ගාමිණී සුසන්ත/ රසඳුන

0 comments:

Post a Comment