Monday, September 23, 2013

‘සීතා මං ආවා’ චිත්‍රපටයේ අධ්‍යක්ෂ ජයසේකර අපොන්සු

‘සීතා මං ආවා’ පසුගිය දා තිරගතවීම ආරම්භ වුණු ප්‍රවීණ නළුවකු, අධ්‍යක්ෂවරයකු වන ජයසේකර අපොන්සු ප්‍රධාන චරිතය රඟපාමින් අධ්‍යක්ෂණය කරන චිත්‍රපටය්‍.

මෙම චිත්‍රපටයේ මංගල දර්ශනය පැවැත්වීමට සූදානම් ‍ෙවද්දී ‘රාවණා බලය’ සංවිධානයේ භික්ෂූන් වහන්සේ කිහිප නමක් එම ස්ථානයට වැඩම කොට විරෝධය දැක්වූ බව පුවත්පත්වල මුල් පිටුවල පළවීමත් සමඟම එය තරමක උණුසුම්කාරී බවක් රට තුළ ඇතිකළා.

ගුවන්විදුලි නාළිකා කීපයකම ඒ පිළිබඳ අදහස් විමසා වැඩසටහන් විකාශය වුණු අතර මේ චිත්‍රපටය තිරගත වීම පිළිබඳව කිසියම් ගැටලුකාරී තත්ත්වයක් ඉදිරියේ දී ඇතිවිය හැකි බවට රාවයක් ද පැතිර යනවා.

මේ පිළිබඳව නිවැරැදි තොරතුරු දැනගත හැකි හොඳම පුද්ගලයා වන්නේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා මෙන්ම එහි කතා සංකල්පයේ නිර්මාතෘවරයා වන ජයසේකර අපොන්සු කලාකරුවායි.

අප ඇසූ සෘජු ප්‍රශ්නවලට ඔහු ලබා දුන් පිළිතුරු මෙසේයි.

* ජයසේකර අපොන්සු මහත්මයා?


ඔව්.

* ඔබ අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක් දැන් තිරගත වෙනවා නේද?

ඔව්. ‘සීතා මං ආවා’ චිත්‍රපටයනෙ.

* එය පෙන්වන එක නවත්වන්න යනව කියන්නෙ ඇත්තද?

මොන බොරු ද? ඔය හොඳට සෙනඟ පිරිල බලන්නෙ.

* ඒත් එය තිරගත කිරීමට විරෝධයක් තිබෙන බව ඔබ පිළිගන්නවද?


ඔව්.

* ඒ කාගෙන්ද?

රාවණා බලය කියන සංවිධානයකින්.

* ඔබ ඒ අයට මංගල දර්ශනයට ආරාධනා කළා කියන්නෙ ඇත්තද?


නෑ.. මං ඒ කිසි කෙනකුට ආරාධනා කළේ නෑ.

* එතකොට මේ පුවත්පත්වල පළවෙලා තියෙන ප්‍රවෘත්ති බොරුද?


නෑ.. ඒවා ඇත්ත. උන්වහන්සේලා මංගල දර්ශනයට වැඩම කළා.

* ඔබ කිව්වෙ ආරාධනා කළේ නෑ කියලා?

ඒක වුණේ මෙහෙමයි. මංගල දර්ශනය පැවැත්වීමට සූදානම් කරල තිබුණෙ බොරැල්ලේ රිට්ස් සිනමා හ‍ලේ. එහි ආසන තියෙන්නේ 110යි. අපි ඒ ප්‍රමාණයට ආරාධනා පත්‍ර මුද්‍රණය කරලා අවශ්‍ය සියලුම දෙනාට ආරාධනා කළා.

එදා උදේ රාවණා බලය සංවිධානයේ ලේකම් ස්වාමීන් වහන්සේ මට දුරකථනයෙන් කතාකළා.

* මොනවද කිව්වෙ?

උන්වහන්සේට චිත්‍රපටය බලන්න ඕන කිව්වා. මම කිව්ව දැන් ඉඩ නෑ. සේරම ඉන්විටේෂන් යවල ඉවරයි කියල. එතකොට උන්වහන්සේ කියනව “මම තනිවම නෙමේ එන්නෙ අපි 15ක් විතර එනවා” කියල. අපි කොහොම හරි චිත්‍රපටය බලන්න එනවා කිව්වා.

* ඔබ හා කිව්වා?

නෑ.. මම චිත්‍රපටයේ නිෂ්පාදකතුමාට කතා කළා. එයා කිව්වා කමක් නෑ අපි ඒ අය ආවොත් අපේ අයට හිටගෙන හරි බලන්න කියල ඒ අයට බලන්න ඉඩදෙමු කිව්වා.

ඒ විදිහට තමයි රාවණා බලය සංවිධානයේ ස්වාමීන් වහන්සේලා මංගල දර්ශනය බලන්න ආවෙ. නැතුව ආරාධනා පත්‍රයක් දීලා ආරාධනා කළා නෙමෙයි. එයා‍ලාගේ දැඩි ඉල්ලීම මත තමයි අවස්ථාව දුන්නෙ. ඊට පස්සෙ දවල් තවත් සිදුවීමක් වුණා.

* ඒ මොකක්ද?

මංගල දර්ශනය දවසේ රිට්ස් සිනමා හලේ උදේ 10.30 දර්ශනයයි 2.30 දර්ශනයයි ප්‍රදර්ශනය කළා.

එදා 10.30 දර්ශනය අතරතුර රිට්ස් සිනමා හලේ කළමනාකරු මට දුරකථනයෙන් කතා කළා. පොලීසියෙන් ඇවිත් 2.30 දර්ශනය පෙන්වන්න එපා කටවුට් ගලවන්න කියනවා ඉක්මනට එන්න කියලා.

* ඔබ මොකද කළේ?

ඒ වෙලාවෙ මම හිටියෙ තූර්යා ටෙලිනාට්‍යයේ දර්ශන තලයේ. මට මේ ආරංචිය ඇහුව විතරයි සොයිසගෙ රෝල් එකත් මතක නැතුව ගියා. පස්සෙ ඒකෙ අධ්‍යක්ෂ රවීන්ද්‍ර විජේරත්නට කියල ඉක්මනට රිට්ස් සිනමාහලට ආවා.

* ඔබට පොලීසියෙ අය මුණගැහුණද?

නෑ. ඒ වෙනකොට ඔවුන් ගිහින්. මම එතැනට එනකොට 3.30ට විතර ඇති. ඒ වෙලාවෙ 2.30 දර්ශනය තිරගත වෙමින් තිබුණෙ.

* මංගල දර්ශනය වෙලාවෙ රාවණා බලය හිමිවරු වැඩම කළා කියන්නෙ ඇත්තද?

හවස 7.00ට මංගල දර්ශනය මොහොතෙ ජයන්ත ධර්මදාස මහත්තය, නළු නිළියො, පුවත්පත්කලාවේදීන් ඇතුළු ආරාධිත අමුත්තන් සියල්ලම පැමිණිලා පොල්තෙල් පහන් දල්වන්න හදන කොටම රාවණා බලයෙ ලේකම් හාමුදුරුවො සමඟ 19 දෙනෙක් එතනට වැඩියා.

*ඔබ ඔවුන් පිළිගත්තෙ කොහොමද?

මම ලේකම් හාමුදුරුවන්ට “හාමුදුරුවනේ මේක සුබ‍ මොහොතක් පිරිත් ටිකක් කියන්න” කියල ආරාධනා කළා.

* ඉතින් හාමුදුරුවො පිරිත් කිව්වද?

“නෑ නෑ අපි පිරිත් කියන්න නෙමේ චිත්‍රපටය බලන්න ආවෙ. අපිට චිත්‍රපටය බලන්න ඕන කිව්වා.”

අපි උන්වහන්සේලා ඇතුළට වැඩමවල වාඩි කෙරෙව්ව. ඊට පස්සෙ පහන් පත්තු කරල මම කතාවකුත් පවත්වල චිත්‍රපටය ආරම්භ කළා.

* රාවණා බලය හිමිවරු ඒක බැලුවද?

ඉවර වෙනකං තියා එක පැයක්වත් හිටියෙ නෑ. කතාව ආරම්භ වෙලා රාවණා ගේ දෙබස් දෙක තුනක් කිව්වා විතරයි හාමුදුරුවරු නැගිටලා එළියට වැඩම කළා.

* ඒකද උන්වහන්සේලාගේ විරෝධය?

නෑ. උන්වහන්සේලා කුපිත වෙලා හෝල් එකේ ම‍ැනේජර්ට කියල තියෙනවා මේක පෙන්නන්න දෙන්නෙ නෑ. අපි උද්ඝෝෂණය කරනවා කියලා.

* ඊට පස්සෙ ?

උන්වහන්සේලා වැඩම කරලා.

*එතකොට ඔබ උන්වහන්සේලා කිව්ව විදිහට ප්‍රදර්ශනය නවත්වනවද?
මොන බලවේග ආවත් මම නෝ හෙල්ලුම් පොල්මැල්ලුම් කියලා ප්‍රදර්ශනය දිගටම කරගෙන යනවා.

* ඒ කියන්නෙ ඔබ ඒ අය කියන දේ පිළිගන්නෙ නෑ?

මම කලාකරුවෙක් විදිහට චිත්‍රපටය හදල රැඟුම් පාලක මණ්ඩලයට දාල අනුමැතිය අරගෙන තියෙන්නෙ. දැන් ඒක කාටවත් නවත්වන්න අයිතියක් නෑ.

* රැඟුම් පාලක මණ්ඩලයෙන් මෙහි කොටස් ඉවත් කළා කියන්නෙ ඇත්තද?


රැඟුම් පාලක මණ්ඩලයේ සභාපති ගාමිණී සුමනසේකර මහත්මයා මට කතා කරලා හමුවන්න කිව්වා. එහිදී එතුමා මෙය ‘මායාවත් සත්‍යයත් අතර තිබෙන හොඳ සංකල්පයක්’ කියල කිව්වා. ඒ එක්කම එහි එක් දර්ශනයක් දාල පෙන්නලා එය ඉවත් කරන්න කිව්වා.

* ඔබ එය ඉවත් කළාද?

මමත් නිෂ්පාදකතුමාත් බෝඩ් එකේ නිලධාරි මහත්මයකුත් සමඟ ගිහින් ඒ දර්ශනය ඉවත් කළා.

* එය දිගු දර්ශනයක්ද?
 
නෑ.. තත්පර දෙක තුනක එකක්.

* රාවණා බලය කියනවා ඔබ රාවණා ට අපහාසයක් කරල තියෙනවා කියල?

මොන බොරුද? එහෙම නං සෙන්සර් බෝඩ් එකෙන් අනුමත කරයිද? මේ ‍බෝඩ් එකේප්‍රවීණ විචාරකයො ඇතුළු විද්වත් මණ්ඩලයක් ඉන්නෙ.

අනිත් එක මම මේ චිත්‍රපටය නැරඹූ අය සෑහෙන දෙනෙක්ගෙන් මේ කතාව ඇහුවා.

* මොකක්ද ඔවුන්ගෙ ප්‍රතිචාරය?

ඔවුන් හැමදෙනාම වගේ කිව්වෙ එහෙම අපහාසයක් කරල නෑ.. අපට දැනෙන්නෙ රාවණා ගැන ගරු හැඟීමක් වගේම අන්තිමට දුකක් දැනුණා කිව්වා.

* ඔබ ජනතාවගෙන් සමාව ගත යුතුයි කියල ඔවුන් කියනවා?

වැරැද්දක් වුණා නං මම සමා දහසක් වුණත් ඉල්ලන මිනිහෙක්. ඒත් මෙතන සමාව ඉල්ලන්න මම අපරාධයක් ‍හෝ මංකොල්ලයක් හෝ ස්ත්‍රී දූෂණයක් කරල නෑ.

ඒ නිසා ඒක මට අදාළ නෑ.

* එතකොට ඔබ මේ බලවේගය ගැන මොකද කියන්නෙ?

මම දකින්නෙ මෙය මගේ චිත්‍රපටය ගොඩගන්න ආපු බලවේගයක් හැටියටයි. ඔවුන් නිසා ‘සීතා මං ආවා’ චිත්‍රපටයට නොසිතූ ප්‍රචාරයක් ලැබුණා.

ඒ නිසා මේ දුන්නු ප්‍රචාරය වෙනුවෙන් චිත්‍රපටය ආරම්භක සිනමා ශාලාවල දින 100ක් ප්‍රදර්ශනය වුණොත් එම සංවිධානයට මම කිසියම් පරිත්‍යාගයක් කිරීමට සූදානම්.

ඉඳුනිල් වීරරත්න


0 comments:

Post a Comment