Wednesday, May 21, 2014

‘මලී’ට කලින් දියණිය විවාහ වෙයි

හෙට අපේ අම්මගේ වෙඩින් එක. එයා දෙවැනි මනමාලි හැටියට මාව ගන්නයි හිටියේ. හැබැයි අම්මට කලින් දුව විවාහ ගිවිස ගත්ත නිසා මට ඒකට යන්න වෙන්නේ අමුත්තෙක් විදිහට තමයි. කවුද හිතුවේ අම්මට කලින් දුව කසාද බඳියි කියලා.

උදාරි කෞශල්‍යා උදය කුමාර් කතාව පටන් ගත්තේ අන්න එහෙම. ඇය මේ කියන්නේ මොකක්ද කියලා මුලදී මටත් හරියාකාරව තේරුම් ගන්න බැරි වුණා. ඉන්න මම ඔබට ඒ අපබ්‍රංස කතාව පැහැදිලි කරලා දෙන්නම්. අද අපේ ‘සරසවිය’ පුවත්පතේ මුල් කවරය වෙන් කරලා තියෙන්නේ සමාධි අරුණි ඡායා හෙවත් මලී වෙනුවෙන්. පසු කවරේ ඉන්නේ උදාරි, සංගීතුයි. උදාරිව අප හඳුනා ගත්තේ මලී 2 අත්තම්මා ටෙලි සිතුවමේ පාරධීගේ චරිතයෙන්. පාරධී කියන්නේ මලීගේ දුව. දැන් තේරුණා නේද උදාරි පැවසූ කතාවේ අර්ථය.

අපි උදාරිව එකතු කර ගත්තා ඇගේ පෙම් කතාව අහන්න. උදාරි වගේම උදාරිගේ සහකරුවත් අපට ආගන්තුක නැහැ. සංගීත් සතරසිංහ නම් වූ ඔහු අත්තම්මා ටෙලි සිතුවමේ රඟපාන්නෙත් උදාරිගේ ප්‍රේමවන්තයා හැටියට. වැඩිදුර විස්තර හොයාගෙන යද්දී දැනගන්නට ලැබුණේ දෙන්නා ප්‍රේමවන්තයින් වුණේ අත්තම්මා නිසාලු.

* මංකිව්ව දේ හරි නේද උදාරි?
හරියටම හරි. සංගීත අයියයි මමයි ගොඩක් කල් ඉඳලා හඳුනනවා. අපි ෆැමිලි ෆෙ‍්‍රන්ඩ්ස්ලා. එයගේ තාත්තයි, අපේ තාත්තයි ගජ යාළුවෝ. ඒ මිත්‍රකම හේතුවෙන් සංගීත් අයියා හිතවත් වුණා.

* ඒත් ඔබලා ආදරය ප්‍රකාශ කර ගන්නේ පෙම්වතුන් වුණේ අත්තම්මා දර්ශන තලයේදී?
මට එයාව ළඟින් ආශ්‍රය කරන්න ලැබුණේ අත්තම්මා රඟපාන්න ආවට පස්සේ. සංගීත් අයියා තුළ සිටින සැබෑ මනුස්සයා මා දුටුවේ එහිදියි.

* ඇයි එහෙම කියන්නේ?
එයා හරි අවංකයි. මං එයාගෙන් දුටුව සුවිශේෂිම ගති ගුණය නම් සතුරෙකුට වුණත් විපතකදී උදව් කිරීම.

* අත්තම්මා ඔබේ පළමු ටෙලි නාට්‍යයද?
ඔව්. පත්තරයක මුල් පිටුවක පළ වූ මගේ ඡායාරූපයක් දැකලා නිෂ්පාදක ජානක සිරිවර්ධනයි මට මේ සඳහා කතා කළේ.

* රංගනයෙන් ඉදිරියට යන්න අපේක්ෂාවෙන් ඉන්න අයකු විදිහට ඔබ මේ ගත්තුª තීරණය ඉක්මන් වැඩි නැද්ද?
කොහෙත්ම නැහැ. මං හිතනවා මගේ ආරක්ෂාවටත් එක්ක මං ගත්තු මේ තිරණය ඉතාම නිවැරැදියි කියලා.

* ආරක්ෂාව කියලා කිව්වේ?
අපි දෙන්නා පෙම්වතුන් වුණ ගමං ඒ ගැන ගෙදරට කිව්වේ නැහැ. එහෙම වුණයි කියලා ඈත්වෙලා ඉන්න බැහැනෙ. නිතර නිතර අපි එකට ළං වෙලා කතාබහ කරද්දී කටකතා හැදෙන්න පුළුවන් අවස්ථා අනන්තයි, අප්‍රමාණයි. බැරි වෙලාවත් ඒ කතාවක් වැරැදි විදිහට හැදිලා අපේ ගෙවල්වලට ආරංචි වුණොත් අපි ඉඳලත් ඉවරයි. ඒක නිසා හැකි ඉක්මනින් විවාහ ගිවිස ගත්තා.

* ඔය දෙන්නා ගිය අමතක නොවන ගමන මොකක්ද?
අපි පෙම්වතුන් වෙච්ච මුල් කාලයේම පන්සලකට, කෝවිලකට, පල්ලියකට ගිහින් එකම දිනක බාරයක් වුණා. ඉතා ඉක්මනින් අපිට එක වහලක් යටට එන්න ලැබේවා කියලා. ඊට පස්සයි ගෙවල්වලට අපි ගැන කිව්වේ. ඒ පැතුව පැතුම් එකක් නෑරම ඉටු වුණා. ඉතින් මට ඒ ගමන ගිහින් අපි බාර වුණු හැටි නම් කවදාවත්අමතක වෙන්නේ නැහැ.

* සංගීත් ඔබ වෙනුවෙන් ජීවිත කාලයම ඉඳියි කියලා විශ්වාසද?
ඔව්. අනිවාර්යයෙන්ම.

* ඔහුට දිගටම රංගන කටයුතුවල නිරත වෙන්නට ඉඩ දෙනවාද?
එයා මටත් වඩා නාට්‍ය ගණනාවක ඉඳලා තියෙනවා. එයා දැන් ඉදිරියට යන්න පාර හදාගෙන ඉවරයි. ඉතින් මං මොකටද එයාගේ ගමනට බාධා කරන්නේ?

* ඔබයි සංගීතුයි අතර මේ වෙනකම් රණ්ඩු සරුවල් ඇති වෙලා නැද්ද?
අපෝ නැහැ.

* ඒ වුණාට මට දැනගන්නට ලැබුණා ඔබ සංගීත්ව බිම දිගේ ඇදගෙන ගියා කියලා? ඔහුට තුවාලත් වුණාලු?
ඒ රණ්ඩු වෙලා නෙවෙයි. නාට්‍යයේ දර්ශනයක තියෙනවා ඔහුට උක්කුවගේ හොල්මන පහර දෙනවා. එයාට සිහිය නැති වෙනවා. කැලේකදියි එහෙම වෙන්නේ. ඉතින් මම එයාව ඇදගෙන ගමට එන්න ඕනෑ. මං ඇඟේ තියෙන සියලුම හයිය අත් දෙකට අරගෙන ඔහුව ඇදගෙන ආවා බොහෝ දුරක්. එයාගේ අත් දෙකම හීරිලා. ඇඳගෙන හිටපු ටී ෂර්ට් එකත් ඉරිලා. අනේ මට දුකයි. කොහොම හරි දැන් එයා ඒ ටී ෂර්ට් එක පණ වගේ ආරක්ෂා කරනවා. කාටවත් අල්ලන්න දෙන්නෙත් නැහැ.

* හරි අපූරු දඬුවමක්නේ හා හා හා පුරා කියා ඔබ ඔහුට දීලා තියෙන්නේ?
මම නෙවෙයි. පිටපතේනේ ඒ දර්ශනය තිබුණේ.

* උදාරිගේ වාසගම උදය කුමාර්. ඔබ සිංහල ජාතිකයකු නෙවෙයිද?
මගේ අම්මා සිංහල. තාත්තා ඉන්දියානු ජාතිකයෙක්. තාත්තා එහෙත් ඉන්නවා. මෙහෙත් එනවා.

* එතකොට අදහන ආගම?
බුදු දහම අදහනවා. ඒත් එක්කම හින්දු ආගමටත් මුල් තැන දෙනවා.

* උදාරිගේ පියා කලාවට සම්බන්ධද?
නැහැ. හැබැයි සමීර අයියගේ තාත්තා නම් කලාවට සම්බන්ධයි. ඔහු සුරංග සතරසිංහ. නළුවෙක් වගේම ලේඛකයෙක්.

* හෙට ඔබේ මව ලෙස නාට්‍ය තුළ හඳුන්වා දෙන මලීගේ විවාහ උත්සවය. ඇයට කතා කළාද?
අපි දෙන්නා හරිම හිතවත්. එයාට කලින් මං බැඳපු නිසා ඇයගේ දෙවැනි මනමාලි හැටියට යන්න බැරි වුණා. ඒ ගැන නම් පොඩි දුකක් තියෙනවා. මං මුලු හදවතින්ම ඔවුන් දෙපොළට සුබ පතනවා.

 

0 comments:

Post a Comment