Thursday, October 3, 2013

ඇල්බට් සහ විල්බට් ගජ මිත්‍රයෝ. එකම ක්ෂේත්‍රයේ වුවත් වැඩ කරන්නේ ආයතන දෙකක. සතියකට වරක් නොවැරැදීම ඇල්බට් සහ විල්බට් හමුවෙති. එදිනෙදා වෘත්තිය ජීවිතයේ අත්දුටු දේ කතා බහ කරන්නට දෙදෙනාම ඇදෙන්නේ නගරයේ පිහිටි අවන්හලට. දෙන්නටම හොඳට බොන්න පුළුවනි. ‘කරටි කැඩෙන්න ගහනවා’ කියා සමහරු කියනවා ඇත්තේ ඇල්බට් සහ විල්බට් වැනි හාදයන්ට.

අවන්හල වසන මොහොත දක්වාම දෙදෙනා බොති. ඉන්පසු ඇල්බට් නිවස අද්දරට ගෙන ගොස් දමන වගකීම පැවරෙන්නේ විල්බට්ට. ඒ විල්බට්ට මොටර් සයිකලයක් තිබෙන බැවින්ය.

‘කරටි කැඩෙන්න’ බී සිටියත් මෝටර් සයිකලයට නැගුන විට විල්බට් කඳ කෙලින් තබා ගනී. ඉන්පසු මෝටර් සයිකලය මොවුන් දෙදෙනා රැගෙන ගමන් අරඹයි. දෙදෙනාගෙම ජීවිත භාරවී තිබෙන්නේ මෝටර් සයිකලයට යි. කිසිම අතුරු ආන්තරාවක් ස්වාමියාටත් ඔහුගේ මිතුරාටත් සිදුවන්නට ඉඩ නොදී ‘දඬුමොණර’ රාජයා නිවෙස් බලා ගමන් ගනී.

එදත් රාත්‍රියේ සුපුරුදු විදිහට විල්බට් මෝටර් සයිකලයට නැග කඳ කෙලින්ත තබා ගෙන ඇන්ජිම ස්ටාට් කළේය.

මෝටර් සයිකලය සීරුවට ගමන් කරයි. ඇල්බට් වව්ලෙකු මෙන් විල්බට්ගේ උරහිසේ එල්ලී සිටී. විල්බට් හැඬලය අල්ලා ගෙන යයි.

මෙසේ ටික දුරක් යද්දී ඇල්බට් පයලා ගෙන සිටි සෙරප්පුව ගැලවී බිමට වැටුණි.

“ මචෝ ... පොඩ්ඩක් නවත්තපං. මගේ සෙරෙප්පුව වැටුණා.” ඇල්බට් කීවේය. විල්බට් මෝටර් සයිකලය නතර කළේය. හෙමිහිට මෝටර් සයිකලයෙන් බැස්ස ඇල්බට් වැනි වැනී පිටුපසට යළි ගමන් කර පාරේ වැටී තිබූ සෙරෙප්පුව අහුලා ගෙන ආවේය.

යළි මෝටර් සයිකලයට නැඟුණු ඇල්බට් “හරි මචෝ යමං” යැයි කීවේය. මෝටර් සයිකලය ගමන් කරන්නට විය. ටිකකින් තමන්ගේ ඉන ප්‍රදේශයේ මොකක්දෝ ඇනෙන බවක් විල්බට්ට දැනින. ඔහු එය කුමක්දැයි අල්ලා බලා “මොකක්ද මචං මගේ පිටේ ඇනෙන්නේ” කියා ඇල්බට්ගෙන් ඇසුවේය.

“මගේ සෙරේප්පුව මචෝ..” යැයි ඇල්බට් පිළිතුරු දුන්නේය.

“මගේ පිටේ ඇනෙනවා. ඕක තියා ගනිං උඹේ ඔඩොක්කුවේ.”විල්බට් කීවේය.

මොහොතකට පසු ඇල්බට්ගේ නිවස අසලට මෝටර් සයිකලය සේන්දු විය. ඇල්බට් මෝටර් සයිකලයෙන් බැස වෙනදා විදිහට විල්බට්ගේ හිස දෑතින්ම බදාගෙන සමු ගන්නට සැරසුණේය. ඒ මොහොතේ ඇල්බට්ගේ අතේ තිබුණ සෙරප්පුව යකඩ උලක් මෙන් විල්බට්ගේ මුහුණේ ඇනුනි.

“යකෝ දැන්වත් ඔය සෙරෙප්පුව කකුලේ දාගනිං” විල්බට් කීවේ කම්මුල අතගාන ගමන්ය. දෙපසට වැනෙමින් ඇල්බට් අතේ තිබුණ සෙරෙප්පු බිම අත හැරියේය. එක්වරම එය ‘බම්ප්’ වී පසෙකට විසිවිය. බලද්දී එය මග වැටුණ සෙරෙප්පුව නොවේ. ඇල්බට් වෙරිමරගාතේ අහුලා ගෙන ඇත්තේ පොල්ලෙල්ලකි.

0 comments:

Post a Comment