Saturday, October 5, 2013

සිනමාව, වේදිකාව, පුංචි තිරය යන ත්‍රිත්ව මාධ්‍ය එකසේ ජයගත් සම්මානනීය රංගන ශිල්පිනියක ලෙස ජයනි සේනානායක හැඳින්විය හැකි ය. බුද්ධික දමයන්ත ගේ ‘පළිඟුරෑන’ වේදිකා නාට්‍යයේ හොඳම සහාය නිළිය ලෙසින් ද, ඉන්පසුව වේදිකා නාට්‍ය කිහිපයකම හොඳම නිළිය ලෙසින් ද ‘සුළං කිරිල්ලී’ චිත්‍රපටයෙන් නැඟී එන නිළිය ලෙසින් සරසවි සම්මානයෙන් ද හොඳම සහාය නිළියට හිමි ජනාධිපති සම්මානයෙන් හා සිග්නීස් උත්තමාචාර සම්මානයෙන් ද ඇය පිදුම් ලැබුවේ රංගන උදෙසා ඈ තුළ වූ විශිෂ්ටතම හැකියාව කියාපාමිනි. මේ දිනවල තිරගත වන ‘සිරිපැරකුම්’ චිත්‍රපටයෙන් හා ටෙලිනාට්‍ය කීපයකින් ජයනිගේ රංගන ප්‍රතිභාව අප නෙතු ගැටෙයි. කලකට පසුව ජයනි සමඟ යෙදෙන මේ සංවාදය ඇගේ නවතම කලා තොරතුරු පිළිබඳවයි‍.

ඔබ මේ දිනවල නිරතවෙන කලා කටයුතු මොනවාද?
“මේ දවස්වල ‘සුදුයි උසයි’ ටෙලිනාට්‍යය විකාශය වෙනවා. ඊට අමතරව අනුර වරාගොඩගේ අලුත් ම ටෙලිනාට්‍යයක රූගත කිරීම්වලට සහභාගි වෙනවා. ‘සුදුයි උසයි’ ටෙලිනාට්‍යයේ මම රඟ දක්වන්නේ ගොළු චරිතයක්. ඇයට මානසික වශයෙන් දැනෙන නොදැනෙන ආබාධයක් තිබෙනවා. මේ තරුණිය ඇගේ පෙම්වතා සම්බන්ධ ප්‍රශ්නයක් නිසා ගොළු බවට පත්වෙනවා. ඇත්තටම මේ චරිතය රඟදක්වන්න අසීරු එකක්. මුහුණේ හැඟීම් මගින් මේ චරිතය රඟ දැක්වීම ඇත්තටම අභියෝගයක්. ඊට අමතරව ‘සිංහ FM’ නාළිකාවේ ‘විහාරමහා දේවි’ ඓතිහාසික කතාව ප්‍රචාරය වෙනවා. එහි විහාර මහා දේවි චරිතයට හඬ කවන්නේ මමයි. අතීතයේ වීර කාන්තාවක වගේ ම පූජනීයත්වයට පත්වූ චරිතයක් එය. එය මට වෙනස්ම ආකාරයක අත්දැකීමක්.

ඔබ වේදිකාවේ සම්මානනීය වූ නිළියක්. වේදිකාවෙන් දැන් ඈත්වෙලාවත් ද?
“මේ දවස්වල වේදිකාවෙන් තරමක් දුරට දුරස් වෙලා තමයි කාලය ගත කරන්නේ. විවේකීව ගෙදරට වෙලා කාලය ගත කරනවා. මම වේදිකාවේ වසර පහළොවක පමණ කාලයක් මේ දක්වාම රංගනයන්හි නිරත වුණා. ඉතින් මම හිතුවා දැන් තව අවුරුද්දක් දෙකක් විවේක ගත්තොත් හොඳයි කියලා.”

ඒ ඇයි?
“මම හිතුවා මේ කාල සීමාවේදී වේදිකාව ගැන හැදෑරීම් කළ යුතුයි කියලා. අපි නිළියක් විදිහට රංගනයේ ඉදිරිය ගැනත් සිතිය යුතුයි. ඒ සඳහා හැදෑරීම් කළ යුතුයි. විවිධ චිත්‍රපට, වේදිකා නාට්‍ය බැලිය යුතුයි. ඒවා අධ්‍යයනය කළ යුතුයි.

මම නැවත වේදිකාවට ගොඩවෙන්නේ අලුත් වෙලා. අලුත්වීම අපි හැම කෙනකුටම අත්‍යවශ්‍ය දෙයක් කියලා මම හිතනවා. මොකද අපි එක දිගටම වැඩ කළහම අපිට වෙහෙසක් දැනෙනවා. එයින් මිදිලා ශාරීරිකව හා මානසිකව විවේක ගත යුතුයි කියා මට හිතුණා.”

ඔබ නිළියක වෙන්න නොසිතුව කෙනෙක්ද?
“මම නිළියක් වෙන්න හිතුවෙ නැහැ. මම කොළඹින් ගොඩක් දුර ප්‍රදේශයක හැදුණු වැඩුණු කෙනෙක්. එවැනි පරිසරයක ජීවත්වුණු කෙනෙක් කවදාවත් නිළියක වෙන්න හිතන්නේ නැහැ. නමුත් කුමක් හෝ වාසනා ගුණයක් තිබුණු නිසාත් රංගනයට ආසාවක් වගේ ම පුංචි හෝ දක්ෂතාවයක් තිබුණ නිසා මට කලාවට අවතීර්ණ වෙන්න හැකි වුණා.

මගේ මූලික විෂය වුණේ නර්තනය. නර්තන ගුරුවරියක් වීමට මගේ පුංචි ආසාවක් තිබුණා. එසේ වූවා නම් අද මට ලැබෙන මේ ජනප්‍රසාදය, ආදරය මේ වනවිට නැතිවෙන්න තිබුණා. මම බලාපොරොත්තු වුණාටත් වැඩිය දේවල් මට අද කලාව ලබාදී තිබෙනවා. එනිසා මම නොලැබුණු දේ ගැන හිතා දුක්වෙන කෙනෙක් නෙමෙයි.”


අපි වැඩිපුරම ඔබව දකින්නේ තරමක සැරපරුෂ මවගේ චරිත ඔස්සේ. එවැනි චරිතවලට ඔබ කොටුවෙලා ද?
“මේක අපේ රටේ නළු නිළියන්ට තිබෙන ප්‍රශ්නයක්. කුමක් හෝ චිත්‍රපටයක ටෙලිනාට්‍යයක කතාබහට ලක් වෙන චරිතයක් නිරූපණය කළොත් ඒ වගේ චරිතම තමයි අනෙක් අධ්‍යක්ෂකවරුන් ලබාදෙන්නේ. ‍මම ඔබ කියන කතාව එක හෙළා ම පිළිගන්නේ නැහැ. මට විවිධත්වයෙන් යුතු චරිත ලැබුණා‍. ‘සඳ අමාවකයි’, ‘ධවල කන්‍යා’, ‘බෝගල සවුන්දිරිස්’, ‘අලු බඳුන’, ‘මල් පිපී දැයි බලන්න’ වගේ ටෙලිනාට්‍යවල මම විවිධ චරිත නිරූපණය කළා. මම විශ්වාස කරනවා ඉදිරියේදී යමක් කරන්න පුළුවන් විදිහේ චරිත සිනමාවෙන් මට ලැබේවි කියලා. ඒකාකාරී බවින් මිදී විවිධ චරිත නිරූපණය කරන්නේ කොහොමද කියලා මම අධ්‍යයනය කරනවා.”

මඟ තොට ප්‍රේක්ෂකයින් ගෙන් ලැබෙන ප්‍රතිචාර ගැන මොකද හිතන්නේ.
“ඉතාම ඉහළ මට්ටමකින් ප්‍රතිචාර ලැබෙනවා. මම රඟපාන මොන චරිතයක් වුණත් ඔවුන් නරඹලා ප්‍රශස්ත මට්ටමේ ප්‍රතිචාර ලබාදෙනවා. ඒ වගේ ම රංගනයේ අඩුපාඩු ඇත්නම් ඒ ගැනත් කතාබහ කරනවා.”

ඔබට අභියෝගයක් එල්ල කරන නිළියන් සිටිනවා ද?
“රංගනය කියන්නේ කාටවත් ම අභියෝගයක් නෙමෙයි‍. රංගනය කියන්නේ නැවත නැවත පුහුණු වෙමින් කළ යුතු නිර්මාණ කාර්යයක්. තව කෙනෙක් ගේ දිහා බලලා වැරදි හදා ගෙන, අධ්‍යයනය කරලා රඟපෑම කළ යුතුයි. කලාව තුළ කිසිම නළුවෙක් නිළියක් තවත් නළු‍වකුට හෝ නිළියකට අභියෝගයක් වෙන්නේ නැහැ.”

ඔබ ඔබේ ගම්පියසට නිතර නිතර යනවාද?
“හැම මාස හතරකටම වතාවක් මම අනුරාධපුරේ යනවා. ගිහින් සතියක් විතර ඉඳල තමයි එන්නේ. මම එනකං ගමේ මිනිස්සු මඟ බලාගෙන ඉන්නවා. තමන්ට මාව ඇත්තටම ගෞරවයක් කියලයි ඔවුන් කියන්නේ. අනෙක මම ගමට අගෞරව වෙන ආකාරයේ වැඩ කරන්නේ නැහැ. ගම තමයි මගේ රංගනයේ ගුරුවරයා. ඒ චරිත තමයි මගේ රංගනයට මං පෙත් විවර කරන්නේ.”

ඔබේ පෞද්ගලික තොරතුරු මොනවාද?
“මගේ සැමියා වරලත් ගණකාධිකාරීවරයෙක් ඔහු සංජීව ඉලේපෙරුම. ඉතාම සමඟියෙන් යහපත් පවුල් ජීවිතයක් ගත කරනවා. සතුටින් කාලය ගත කරනවා.”

0 comments:

Post a Comment