Thursday, January 9, 2014

කිරි පිටි අත්‍යවශ්‍ය ආහාරයක් නොවේ යැයි කියන ආණ්ඩුව මත්කුඩු කන්ටේනර් ගෙන්නනවා
- රනිල් වික්‍රමසිංහ

2014 දී මහ පාරට බැස ඒකාධිපති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යැවීමේ පණිවුඩය බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණවලින් ද මේ ආණ්ඩුවට  යවන බව එක්සත් ජාතික පක්ෂ නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
ජනතාව එකට ඒකරාශී කර ජනතාවට සහන සලසන ආණ්ඩුවක් 2014 දී සිය පක්ෂය ගොඩනගන බව ද ඒ මහතා කටුබැද්ද ජනසෙත කලා කේන්ද්‍රයේ පැවැති මොරටුව එක්සත් ජාතික පක්ෂ බල මණඩල රැස්වීමේ දී පෙරේදා (06) කීය.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා, මේ වන විට රටේ විශාල කිරිපිටි හිඟයක් ඇති වී තිබෙන අතර ඒ හේතුවෙන් දරු දැරියන්ට කිරිපිටි වේලක් ලබාදීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙනවා. කිරිපිටි වෙනුවට දියර කිරි පරිභෝජනය කරන්නැයි ආණ්ඩුව කියන අතර සමාගම් කියා සිටින්නේ උද්ගත වී තිබෙන තත්ත්වය අනුව විශාල අලාභයක් සමාගම්වලට දැරීමට සිදුවනු ඇති බවයි. මේ කිරිපිටි ප්‍රශ්නය විසඳන බව ආණ්ඩුව කියා සිටියත් මිල්කෝ කිරිපිටි සමාගම මේ වන විටත් වර්ජනයක යෙදී සිටිනවා.

මේ තත්ත්වය යටතේ අපේ මව්වරුන්ට වර්තමානයේ සිදුව තිබෙන්නේ කිසාගෝතමිය එදා කිසිවෙකුත් නොමළ නිවසකින් අබ ඇටයක් සොයා ගියා සේම සිය දූ දරුවන් වෙනුවෙන් කිරිපිටි සොයා යාමටයි.
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සෑම අවස්ථාවකදීම උත්සාහ කළේ ජනතාවට කෙසේ හෝ වැඩිපුර කිරි ලබාදීමටයි. ශ්‍රී ලංකාව එළකිරි සම්පූර්ණයෙන්ම ස්වයං‍පෝෂිත නොවන නිසා එළකිරිවලට සමගාමීව කිරිපිටි හෝ ලබාදී ජනතාව ෙදෙනිකව පානය කරන කිරි ප්‍රමාණය වැඩි කිරීමට අප කටයුතු කළා. නමුත් ඒකාධිපති රෙජීමය කියා සිටින්නේ කිරිපිටි ජනතාවට අත්‍යවශ්‍ය ආහාරයක් නොවන බවයි. ඒ නිසා කිරිපිටි කන්ටේනර් රටට ගෙන එන්නේ නැහැ. කිරිපිටි කන්ටේනර් වෙනුවට ඒකාධිපති රෙජීමය මත් කුඩු කන්ටේනර් රටට ගෙන එනවා.
මත් කුඩු සහ නීති විරෝධී එතනෝල් තොග වශයෙන් කන්ටේනර්වලින් රටට ගෙන්වා තරුණ තරුණියන්ට මත් කුඩු සහ එතනෝල් බොන්නැයි කියන ඒකාධිපති රාජපක්ෂ රෙජීමය නැමැති හොර කණ්ඩායම පන්නා නොදැම්මොත් මේ රට බේරා ගැනීමට හැකියාවක් නැහැ.

යුද්ධය අවසන් වූ අවස්ථාවේ දී ඒකාධිපති රෙජීමය කියා සිටියේ රට සංවර්ධනය කරමින් සියලුදෙනාටම උපරිම සහන ලබා දෙන බවයි. ‍පොරොන්දු වූ පරිදි සංවර්ධනය නම් කෙරුණා. ඒත් ඒ සංවර්ධනයේ සියලු ප්‍රතිලාභ සහ සල්ලි ගියේ 'සියයට එකකගේ' සාක්කුවටයි. එසේ නම් සංවර්ධනයෙන් හම්බ කළේ 'සියයට එකක්' වූ උන්ගේ සුළුතරයයි.

මසකට රුපියල් 35,000ත්, 45,000 ත් අතර වැටුපක් ලබාගත හැකි නව රැකියා අවස්ථා නිර්මාණය කරමින් තරුණ තරුණියන්ට රැකියා ලබා දී රැකියා ප්‍රශ්නය විසඳීමට මේ ඒකාධිපති රෙජීමයට හැකියාවක් නොමැති බව අප කවුරුත් දන්නවා. රටේ රැකියා අවස්ථා නිර්මාණය කිරීමට නොහැකි නිසා ඒකාධිපති රෙජීමය සෑම අවස්ථාවකදීම ක්‍රියා කරන්නේ තරුණ තරුණියන් අඩු වැටුපට මැද පෙරදිගට හෝ කොරියාවට තල්ලු කිරීමටයි.
භාණ්ඩ සහ සේවා මිල ගණන් අඛණ්ඩව වැඩි වුණත් ජනතාවගේ වැටුප් සහ දීමනා සත පහකින්වත් වැඩි වී නොමැති තත්ත්වය හමුවේ පැහැදිලි වන්නේ ඒකාධිපති රෙජීමයට ජීවන වියදම් ප්‍රශ්නය විසඳිය නොහැකි බවයි.
සිය අයිතිවාසිකම් සහ වැටුප් වැඩි කිරීම් ඉල්ලා වැඩ කරන ජනතාව උද්ඝෝෂණය කරන විට ඒ උද්ඝෝෂණවලට එරෙහිව උසාවියෙන් තහනම් නියෝග ආණ්ඩුව ගන්නා තත්ත්වය හමුවේ වැඩ කරන ජනතාව සහනයක් ලබා ගන්නේ කෙසේද?

අධිකරණයේ ස්වාධීනත්වය සම්පූර්ණයෙන්ම කෙලසූ ඒකාධිපති රෙජීමය ‍පොලීසිය, රජයේ සේවය, නීතිපති දෙපාර්තමේන්තුව, මානව හිමිකම් කොමිසම සිය පාලනයට ගෙන ඒ සියල්ල මෙහෙයවමින් ඒකාධිපති මාර්ගයක ගමන් කරනවා. මැතිවරණ නීති රීති උල්ලංඝනය කරන තත්ත්වය හමුවේ නිදහස්, සාධාරණ සහ ස්වාධීන මැතිවරණ පැවැත්වෙන්නේ නැහැ.

 විශාලතම කොමියුනිස්ට් රාජ්‍යය වූ සෝවියට් දේශය ජනතා උද්ඝෝෂණ හමුවේ 1990 දී කඩා වැටුණා. රුසියාව ද මේ වන විට කොටස්වලට කැඩි බෙදී ගොස් තිබෙන අතර නැගෙනහිර යුරෝපයේ ‍පෝලන්තය, බල්ගේරියාව, රුමේනියාව, හංගේරියාව ආදී රටවල තිබූ ඒකාධිපති පාලනයන් ද ජනතා විරෝධතා හේතුවෙන් කඩා වැටී තිබෙනවා. කිසිඳු බලවේගයකට සිය පාලනය බිඳ දැමීමට නොහැකි යැයි සිතූ මොහොමඩ් ගඩාෆිට අත්වූ ඉරණම කුමක්ද? ජනතාව මහ පාරට බැස ටියුනීසියාවේ ඒකාධිපති පාලනය ද අවසන් කළ අතර ඒකාධිපති තවත් පාලකයෙකු වූ හොස්නි මුබාරක්ව ද ජනතාව ගෙදර යැව්වා.

මේ තත්ත්වය හමුවේ අප සියලු දෙනාම එකට එක්ව සංවිධානය වී මහ පාරට බැස සටන් කළොත් මේ ඒකාධිපති රෙජීමයේ පාලනය ද අවසන් වනවා. සියලු දෙනා එකට එක්ව සමගි සම්පන්නව, සංවිධානය වී මේ ඒකාධිපති රෙජීමයට එරෙහිව මහ පාරට බැසිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ ජාතික මහා සම්මේලනයේ දී අප ඒකමතිකව තීරණය කළේ ඒ නිසයි.

මේ ජාතික මැතිවරණ සම්බන්ධයෙන් භීතියට පත්ව සිටින ආණ්ඩුව ඊට ඉදිරිපත් කරන විපක්ෂයේ ‍පොදු අපේක්ෂකයා ගැන කරුණු විමසනවා. 2014 අවසන් වීමට පෙර ආණ්ඩුව මේ ජාතික මැතිවරණය පැවැත්වුවහොත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉදිරිපත් කරන ජයග්‍රාහී බලවේගයෙන් ඒකාධිපති රාජපක්ෂ රෙජීමය අප බලයෙන් පහ කරනවා.

ඒ අතරතුර පැවැත්වෙන පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණවල දී ද, ආණ්ඩුවට රතු එළියක් පෙන්වීම සඳහා එක්සත් ජාතික පක්ෂය තරග කරනවා. නමුත් පළාත් සභා මැතිවරණවලට සියල්ල කොටු කිරීමට ඉඩ නොතබන අප එක පැත්තකින් මේ මැතිවරණවලට ඉදිරිපත්ව තරග කරන අතරම අනික් පැත්තෙන් මහ පාරට බැස ජාතික මැතිවරණයක් වෙනුවෙන් උද්ඝෝෂණය ද කරනවා.

දේශබන්දු කරු ජයසූරිය මහතාගෙන් යුතුව නායකත්ව මණ්ඩලයක් පත් කර එම මණ්ඩලයට පැවරීමට ද ජාතික මහා සම්මේලනයේ දී තීරණය කළා. එමෙන්ම සියලු බලවේග එකම වේදිකාවක් යටතේ එකට ඒකරාශී කිරීම සඳහා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ස්වාධීන කොමිෂන් සභා යළි ඇති කරමින් දළ දේශීය නිෂ්පාදනයෙන් 6 ක් අධ්‍යාපනයට යොදවා සූරා කන ආර්ථිකය වෙනුවට සමාජ සාධාරණයක් සහිත වෙළෙඳ‍පොළ ආර්ථිකයක් ඇති කිරීමට ද ජාතික මහා සම්මේලනයේ දී අප තීන්දු කළා.

එමෙන්ම සියලු දෙනාම එකට එක්ව සමගි සම්පන්නව එකම හඬකින් කතා කළ යුතු යැයි ද ජාතික මහා සම්මේලනය ඒකමතිකව තීන්දු කළ අතර ඊට මහා සම්මේලනයට එක්ව සිටි සියලු දෙනාම දෑත් ඔසවා සහාය පළ කළා. එසේ නම් එක්සත් ජාතික පක්ෂයෙන් අපට ලබා දී තිබෙන ඒ වරම අප සියලු දෙනාම ක්‍රියාත්මක කළ යුතුයි.
විවිධ කණ්ඩායම් සමග සාකච්ඡා කරමින් සියලුම බලවේග එකට ඒකරාශී කිරීමේ වැඩ කටයුතු මම ආරම්භ කරන අතර එක්සත් නායකත්ව මණ්ඩලය එක්සත් ජාතික පක්ෂයේ සංවිධාන බිම් මට්ටමේ සිට යළි ගොඩනගා ශක්තිමත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරනවා.

එක්සත් ජාතික පක්ෂය සම්පූර්ණයෙන්ම සංවිධානය කිරීම සඳහා 2014 අවුරුද්ද සියලු දෙනාම කැප කළ යුතුයි. සියලු දෙනා සමගම සාකච්ඡා කර ඒ අය අපේ පැත්තට හරවා ගන්නා අතර ගෙන් ගෙට ගොස් ජනතාව දැනුම්වත් කර පෙළගැස්සවිය යුතුයි.

එක්සත් ජාතික පක්ෂ එක්සත් නායකත්ව මණ්ඩලයේ සභාපති සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා අද රටට සිදු වෙලා තිබෙන ප්‍රශ්නය පිළිබඳ දුම්රියේ, කඩපි‍ලේ ආදී සෑම තැනම කතා වෙනවා. 2005 න් පසුව පාරවල්, පාලම් හැදුවත් රටට මහත් ව්‍යසනයකට පත් වෙලා. තුන්වේල කෑමට නොහැකි දෙමාපියෝ දරුවෝ අනාථ නිවාසවලට බාර දෙනවා. තවත් මව්වරු දරුවො අරගෙන සිය දිවි නසා ගන්න අවාසනාවන්ත තත්ත්වයට පත් වෙලා.

මහජන මුදල් අම්මගෙ අප්පගේ බූදලයක් වගේ නාස්ති කරනවා. රටේ කිසිම කළමනාකරණයක් නැහැ. යහළු හිතමිතුරන්ට සංග්‍රහ කරන ආණ්ඩුව ජනතාව ගැන හිතන්නේ නැහැ. මේ රටේ සෑම කෙනෙකුම ලක්ෂ තුනහමාරක් ණයයි. මේ විදියට රටකට ඉදිරියට යන්න බැහැ. ළමා අපචාර, ස්ත්‍රී දූෂණ වැඩි වෙලා. ඉතිහාසයේ නොතිබූ ලෙස රත්තරන් බඩු උකස් කර තිබෙනවා.

ප්‍රාදේශීය සභා මහත්වරුන්ගේ සිට ආණ්ඩුවට විරුද්ධව ආණ්ඩුව පිළිබඳ කලකිරීම් ප්‍රදර්ශනය වනවා. රතු පස්වල ජනතාව වතුර ඉල්ලන කොට වෙඩි උණ්ඩෙන් පිළිතුරු දුන්නා. 2012 ගෙනෙන ලද පනතක් මගින් සෑම දිස්ත්‍රික්කයකම යුද හමුදා කඳවුරු ස්ථාපිත කළා. ඒකාධිපති ගමනක් ආරම්භය ඒකයි. ‍පොලීසියේ බලතල ත්‍රිවිධ හමුදාවට භාරදීම සුදුසු නැහැ.

එක් පුද්ගලයකු එක් පවුලක් විසින් පාලනය වන රටක් බවට ශ්‍රී ලංකාව යොමු කරමින් තිබෙනවා. දුර දක්නා නුවණින් කටයුතු කළ ඩී.එස්. සේනානායක මහතා ඇති කළ නිදහස් ලංකාව අද විවිධ ක්‍රමවලින් යටත් විජිතයක් බවට පත් කරනවා.

2005 න් පසුව පුවත්පත් කර්තෘවරු 17 දෙනෙක් මැරුවත් කිසිදු පරීක්ෂණයක් සිදු වී නැහැ. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසක් රටේ නැහැ. සුදු වෑන් සංස්කෘතිය රට තුළ ක්‍රියාත්මක වෙනවා. 2011 පෙබරවාරි 4 වැනිදා එජාපයේ සාමාකාමී උත්සවයකට පහර දුන්නා. තවමත් පරීක්ෂණයක් සිදු කළේ නැහැ. පහරදුන් අය හඳුනා ගත්තත් ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ.

පළාත් පාලන ආයතන එකින් එක ආණ්ඩුවට අහිමි වනවා. එසේ නොකරන ලෙස ජනාධිපතිවරයා තර්ජනය කළත් එම තර්ජන නොතකා එම මන්ත්‍රීවරු ආණ්ඩුවට තම විරෝධතාව පළ කරනවා. අද අපට තිබෙන්නේ සමගිවීම පමණයි. අපි නායකත්ව මණ්ඩලය පිහිටුවා විශාල පරිවර්තනයක් සිදු කළා. නායක තුමාගේ බලතල 19 ක් නායකත්ව මණ්ඩලයට ලබා දී තිබෙනවා. නමුත් ඇතැම් ජනමාධ්‍ය තම විකාශන ආරම්භ කරන්නේ නායකත්ව මණ්ඩලයට පහරදීම මගිනුයි.

නායකත්ව මණ්ඩලයේ 7 දෙනා අදහස් 7ක් දැරුවත් සාකච්ඡා කොට එක මතයකට එනවා. පක්ෂය සමගිය වෙනුවෙන් නායකත්ව මණ්ඩලය ඇති කළා. අපි එකතු වුණොත් එළඹුණු 2014 දී එජාප ආණ්ඩුවක් බිහි කළ හැකියි. අපි ජනතාව සමග පාරට බැස රජයට විරෝධතාව දිගින් දිගටම පළ කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට, ණය ගෙවීමට 2001 දී අප සමත් වුණා. සහල්වලින් රට ස්වයං‍පෝෂිත කළා. අද කිරිපිටි ටිකක් මිල දී ගන්නවත් ජනතාවට හැකියාවක් නැහැ. වෙළෙඳ ‍පොළේ භාණ්ඩ හිඟයක් එදා ඇති වුණේ නැහැ. පැය 8 ක් විදුලිය කැපූ රටක පැය 24 ම විදුලිය සැපයීමටත් විදුලි බල මණ්ඩලය ලාභ ලබන තත්ත්වයට පත් කිරීමටත් එදා අපි සමත් වුණා.

එහිදී අදහස් දැක්වූ එජාප මහ‍ලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා
ආණ්ඩුව අද විපක්ෂයක් නැති බවට බොරු ප්‍රචාර කළත් මේ රටේ විපක්ෂයක් තිබෙන බව මේ ජන සහභාගීත්වය දුටුවම පේනවා. නොරච්චෝ‍ලේ ඉදිකොට වසර 3 ක් ගත වන විට 30 වතාවක් කැඩිලා. තවමත් මේ රටට විදුලිය ලබා දෙන්නේ එජාපය ඉදිකළ විදුලි බලාගාරවලින් පමණයි.

කොමිස්වලට ලබා ගත් යන්ත්‍ර සූත්‍ර නිසා නොරච්චෝ‍ලේ හැමදාම කැඩෙනවා. ආණ්ඩුව ඒක පිළිනොගත්තත් ඊට ගෙවීමට මේ රටේ ජනතාවට සිදු වෙලා. මෙවැනි ආණ්ඩුවක් ජනතාව බලා‍පොරොත්තු වුණේ නැහැ. කාර් රේස්වලට දවස් කොළඹ මාර්ග වැසුවා. නමුත් මහජනතාවට සිදු වුණු ප්‍රතිලාභයක් නැහැ. ඊට ගෙවීමටත් මේ රටේ ජනතාවට සිදු වෙලා. පරිප්පු, කිරිපිටි, කරවල, විදුලිය ආදී සෑම දෙයකින්ම ඒ සඳහා ජනතාවගෙන් මුදල් අය කරනවා.
රාජ්‍ය සේවකයො රුපියල් සියයක් දෙසියක් ගත්තම අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගන්නවා. අද අල්ලස් කොමිසමේ ප්‍රධානියාටත් අල්ලස් දූෂණ එල්ල වෙලා. මැති ඇමැතිවරුන් අයථා ලෙස කෝටි ප්‍රකෝටි ගණන් අල්ලස් ගත්තත් ඒවා පිළිබඳ විමර්ශනයක් නැහැ.
අසියාවේ ආශ්චර්ය ගැන කතා කරමින් කුඩු තිප්පලක්, ගණිකා තිප්පලක් බවට රට පත් කිරීමට ආණ්ඩුවේ අනුග්‍රහය ලබාදී තිබෙනවා. නීති විරෝධීව එතනෝල් ගෙන ඒම නීතිගත කිරීමට ජනාධිපතිවරයා විසින් ගැසට් එකක් නිකුත් කර තිබෙනවා. 2009 සිට 2013 දක්වා මත් පැන් පානය වැඩිවීම පමණක් මත්පැන් ලීටර් මිලියන 20 ක් බව ජාත්‍යන්තර සඟරාවක් ප්‍රකාශයට පත් කොට තිබෙනවා. මේ රටේ ජනතාවට රාජපක්ෂ ආණ්ඩුව පන්නා දැමීමට ජාතික වගකීමක් තිබෙනවා. ඒ වගකීමෙන් බැහැරවීමට වත්මන් පරපුරට යුතුකමක් නැහැ.

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා අද මේ රට රාජපක්ෂ ආණ්ඩුව යටතේ වසර 9 කට ආසන්න වනවා. 2014 ඔවුන්ගේ අවසන් වසර බවට පත් කිරීමට අපට හැකියාව තිබෙනවා. මීට සති දෙකකට පෙර සම්මත වුණු අය-වැය හරයක් නැති, දිශාන්තයක් නැති අය-වැයක් බව අපි කරුණු සහිතව ඔප්පු කළා. අය-වැයෙන් ජනතාව බලා‍පොරොත්තු වුණු කිසිදු සහනයක් නැහැ.
රැකියා දුන්නත් වැටුප් ලබා දෙන්නේ නැහැ. ණය බරින් ජනතාව මිරිකිලා. 4 දෙනෙක් සිටින පවුලකට මසකට රුපියල් 49,000 ක් අවශ්‍ය බව ජන ‍ලේඛන දෙපාර්තමේන්තුව කියනවා. ඉතිං කොහොමද ජනතාව ජීවත් වෙන්නේ. උද්ධමනය 10 ක් කියල මහ බැංකුව ප්‍රකාශ කළත් සැබෑ උද්ධමනය ඊට වඩා වැඩි විය යුතුයි.

පසුගිය වසරේ ලැම්බෝ ගිනිවලට බදු සහන දුන් ආණ්ඩුව මෙවර අය-වැයෙන් බල්ලන්ට, ටයිපටිවලට බදු සහන දුන්නා, ජනතාවට කිසිදු බදු සහනයක් නැහැ. සුද්දන්ට බැන වැදුණු පලියට මේ රට ඉදිරියට ගෙන යන්න බැහැ.
අද හැම තැනම අල්ලස් වැඩි වෙලා. දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇමරිකන් ඩොලර් මිලියන 9 ක් ද කටුනායක අධිවේගී මාර්ගයට ඩොලර් මිලියන 18 ක් ද වියදම් කොට තිබෙනවා. අපට අධිවේගී මාර්ග පෙන්වා මේ ආණ්ඩුව සොරකම් කරනවා. මහින්ද චින්තනය හදා තිබෙන්නේ ‍පොදු ජනතාවට නොවෙයි. මහින්ද රාජපක්ෂට පමණයි.   
එහිදී අදහස් දැක්වූ හිටපු අධ්‍යාපන අමාත්‍ය සුරනිමල රාජපක්ෂ මහතා   මේ රටේ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ජාතික අධ්‍යාපන ආයතනය ඇති කළා. නිදහස් අධ්‍යාපනය ඉදිරියට ගෙන ගියා. විශ්ව විද්‍යාලයට යෑමට ලකුණු අඩු සිසු සිසුවියන් සඳහා අධ්‍යාපන විද්‍යා පීඨ ඇති කොට දක්ෂ ගුරු පරපුරක් බිහි කළා. තරග විභාගයකින් විදුහල්පති තනතුරු, අධ්‍යාපන පරිපාලන සේවය ඇති කළා. නමුත් මේ ආණ්ඩුව අද සියල්ලම කාබාසිනියා කළා.

2001 දී බලයට පත්වූ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ආණ්ඩුව ඉතා සූක්ෂම ලෙස කොටි සංවිධානය භේද කළා. නමුත් අද ආණ්ඩුව යුද ජයග්‍රහණයේ වාසිය තනිවම භුක්ති විඳිනවා. එසේ වුවත් යුද ජයග්‍රහණයේ ප්‍රතිලාභ ජනතාවට ලබා දීමට ආණ්ඩුව අසමත් වෙලා. මේ ආණ්ඩුව යටතේ ජනතාවට සතුටු විය හැකි කිසිදු දෙයක් නැහැ. සුළු පිරිසක් පමණක් සියලු වරප්‍රසාද භුක්ති විඳිනවා.

එහිදී අදහස් දැක්වූ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහතා පසුගිය බස්නාහිර පළාත් සභා මැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් එජාපයට මන්ත්‍රීවරුන් 15 දෙනෙකු පත් වන විට මොරටුවෙන් 3 දෙනෙක් තේරී පත් වුණා. එම එක්සත් බව වඩාත් තහවුරු කරමින් ඉදිරියේදී එජාප පළාත් සභාවක් ඇති කිරීමට අප ක්‍රියා කළ යුතුයි.

එක්සත් ජාතික පක්ෂයේ රනිල්, කරු සහ සජිත් මහත්වරු එක්සත් වනවා නම් එම ජයග්‍රහණය අපහසු නැහැ. අද මොරටුවේ එජාප පාක්ෂිකයින්ට පාසලකට දරුවකු ඇතුළත් කිරීමට, රැකියාවක් ලබා ගැනීමට අවස්ථාවක් මේ ආණ්ඩුවට ලබා දී නැහැ. මේ පාපයෙන් අපට ගොඩ ඒමට නම් පක්ෂය නොබෙදා මේ ගමනට එක් වන ලෙසත් පක්ෂය විනාශ කිරීමට කටයුතු නොකරන ලෙසත් සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටිනවා.
  
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා, මොරටුව ප්‍රධාන සංවිධායක සේනක දමයන්ත ද සිල්වා යන මහත්වරුන් ද එහිදී අදහස් දැක්වූ අතර මේ අවස්ථාවට විශාල පිරිසක් එක්ව සිටියහ.

0 comments:

Post a Comment